Thursday 23 October 2014

උඩවලව චාරිකාව-2007 (අවසාන කොටස)

පළමු කොටස මෙතනින් කියවන්න

දෙවන කොටස මෙතනින් කියවන්න

පසුදින උදෑසනින් අවදි වී ලකලෑස්ති වීමේ කටයුත්ත ආරම්භ කළෙමු. ඒ අතරතුරේදී ඊයේ මා කතා කළ කැබ් රථය සෆාරි බංගලාව කරා පැමිණියේය. හීල් ආහාරය පාර්සල් ලෙස ඔතාගෙන නව රියදුරු හා වනෝද්‍යානය බලා ගමන් ඇරඹුවෙමු. උද්‍යාන පිවිසුමේදී අප එනතුරු බලාසිටි චන්දන සමග ගොස් ගොස් ටිකට්පත් මිළදීගත් අප පමාවකින් තොරව ගමන ආරම්භ කළෙමු. පෙරදා රාත්‍රියේ ඇද වැටුණු වැස්ස මහා වැස්සක් බව දැක ගන්නට ලැබුණේ උද්‍යානය තුළට ඇතුල් වූ පසුය. එදිනද වැසිබර ගතියේ අඩුවක් නොවන බව පෙන්වන්නට මෙන් පොද වැස්සක් ඇද වැටෙමින් පැවතුනේය.

තරමක් දුරට යත්ම මාර්ගයේ තත්ත්වය ඉතා අවධානම් සහගත තත්ත්වයකට පත්විය. බණ්ඩක්කා මෙන් ලිස්සන මාර්ගයේ වාහන ධාවනය අවධානම් වුවද එය එක්තරා අන්දමක විනෝදජනක අත්දැකීමක් බවටද පත් වුවේය. වාහන වලට පාරේ කෙළින් යාමට නොහැක. පාර ලිස්සන අත අනුව ඒවා එහා මෙහා ලිස්සා යමින් ඉදිරියට යමින් පැවතුනේය.

ලිස්සන පාර...
අප ගමන්ගත් රථය ෆෝ වීල් වර්ගයේ එකක් නොවුනද එහි දමා තිබු ටයර අළුත් ඒවාය, එමෙන්ම එහි වූ කට්ට රටාව ලිස්සීම සීමා කරන වර්ගයේ ඒවා බැවින් එතරම් කරදරයකින් තොරව ගමනේ යෙදීමට අපට හැකි විය. අනෙත් කාරණය වූයේ අප නඩය දාහතර දෙනෙකුගෙන් සමන්විත බරසාර එකක් වීමය.  රියදුරු සහ නියාමක සමග දාසය දෙනෙකි. අපගේ කැබ් රථය ලිස්සා නොයාමට එහි වූ අධික බරද හේතුව වන්නට ඇත.
තල්ලුවට පෙර සුදානම...
පැත්තකට වී බලාගෙන සිටින්නේ කැබ් එකේ ආ වැඩිහිටි දෙදෙනාය

අපට ඉදිරියෙන් ගමන්ගත් කැබ් රථය එක වරම ලිස්සා ගොස් කාණුවට දෙසට ඇදී ගියේය. එහි ඉදිරිපස කොටස කාණුවට වැටී තිබුණේය. පසුපසට රිය ධාවනය කරමින් එය ගොඩ ගැනීමට රියදුරු මහතා සිදුකල උත්සාහය සාර්ථක වුයේ නැත. රෝද එක තැන කරකැවුනා මිස එය මදක් හෝ පසුපසට ආවේ නැත. අප එහි ගොස් බලන විට එහි වූ ටයර තරමක් ගෙවී ගිය ඒවා බව දැකගත හැකි විය. ඉතිරිව ඇති කට්ට ප්‍රමාණය ලිස්සා යාම පාලනය කිරීමට අසමත් වුවා විය හැක. වනෝද්‍යාන ඉදිරිපිට නතරකර ඇති ජීප් රථ හෝ කැබ් රථ මෙවැනි ගමනක් සඳහා තෝරා ගැනීමේදී ඒවායේ ටයර ගැන සැළකිලිමත් වීම වාසියක් මිස පාඩුවක් නොවනු ඇත.
අප රථයේ රියදුරු මහතා සහ කාණුවට වැටුන රථයේ රියදුරු මහතා රාජකාරි මිතුරන් විය. ඒ නිසා ඔහු එම රථය ගොඩ ගැනීමට සහය දීමට ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක්විය. මිතුරන් නොවුනද වනෝද්‍යානයකදී කරදරයකට පත්වූ කෙනෙකුට පිහිට වීමට මිතුරුකම අනිවාර්යය අංගයක් නොවන නිසාත් අපද එයට උර දීමට ඉදිරිපත් වූයෙමු.
ගොඩ ගනිමින්...

රෝද මගින් එතරම් සහයක් නොදුන් කැබ් රථය තල්ලු දැමීමෙන් පමණක් ගොඩ ගැනීම සිදුකල හැකි නොවීය. කාණුවට වැටුණු කැබ් රථයේ එය ඇදීමට සහය කොට ගතහැකි නයිලෝන් වර්ගයේ කඹයක් තිබුණි. එය අප ගමන්ගත් කැබ් රථයට ගැට ගසා එයින් අදින මොහොතේදීම ලබා දෙන තල්ලුවෙන් එය ගොඩ ගැනීම අපගේ අභිලාශය විය. එම රථයේ පැමිණ තිබුනේ වැඩුණු පිරිමින් සහ ගැහැණුන් කිහිප දෙනෙක්ද, ළමුන් කිහිප දෙනෙකි. එහි උන් වැඩිහිටි පිරිමින් දෙදෙනෙකු බිමට බැස වාහනය ගොඩ ගැනීමට අප ගන්නා උත්සාහය නිරීක්ෂණය කරමින් උන්නේය. එය තමන් පැමිණි වාහනය බවට ඔවුන් අමතක කර දමා තිබුන සෙයකි.
එම කැබ්රිය ගොඩගත් පසු නැවතත් අපගේ චාරිකාව ආරම්භ විය. එසේ යාමට හැකි වුයේ මීටර කිහිපයක දුරකි. නැවතත් එය ලිස්සා ගොස් කාණුවට ඇදී ගියේය. නැවතත් පෙර පරිදිම සහ ඊටත් වඩා ඇඟේ පතේ මඩ ගා ගනිමින් කල උත්සාහයකින් අනතුරුව එය ගොඩ ගැනීමට අප සමත් විය. පෙර සේම එම නඩයේ වූ වැඩිහිටියන් නිරීක්ෂනයෙන් පමණක් අපට සහය විය. වාහනය ගොඩ ගන්නට උදව් වූ අපට එය සිදු කළයුතු ආකාරය සම්බන්ධ උපදෙස් නොදී නිකම්ම බලා සිටීම සම්බන්ධව ඔවුන් දෙදෙනාට මාගේ පැසසුම. කිසිඳු මැසිවිල්ලක් හෝ නොනගා එම රිය තල්ලු කර ගොඩ ගැනීමට අපගේ දායකත්වය දුන්නේ ඉන් අපද විනෝදයක් ලද නිසාය.

කැබ් රථය කාණුවට වැටෙන සෑම වරකදීම එයට තල්ලු දැමීම ප්‍රායෝගිකව සිදු කිරීමට අපහසු තත්ත්වයක් බවට විය. වරින් වර වනෝද්‍යානයකදී බිමට බැසීමට සිදුවීම අපහට දැරීමට සිදුවන අනවශ්‍ය අවධානමකි. වනෝද්‍යානයක් තුළදී වාහනයකින් බිමට බැසීම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකි වරදකි. මේ කිසිවක් නොව මා සිත පෙලූ ප්‍රශ්නයේ වුයේ එය අපගේ නිරීක්ෂණ කටයුතු සහ ජායාරූප ගැනීමේ කටයුතු වලට බාධාවක් බව ඇස් පනාපිටම ඔප්පු වෙමින් පැවතීමය.

කුරුළු නිරීක්ෂණය සඳහා බොහෝ උචිත අතුරු මාර්ගයක් ඔස්සේ යාම වඩා සුදුසු බව චන්දන යෝජනා කලේ මේ අතරේදීය. සමහර විට මේ ප්‍රශ්ණයෙන් අපව මුදවා ගැනීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත.  යාමට තීරණය කල අතුරු මාර්ගයේ ටයර ගෙවුණු කැබ් රථයට කෙසේවත් යා නොහැකි තරමට මඩවි ඇති බවක්ද කියැවිණි. එබැවින් ඔවුන් ප්‍රධාන මාර්ගය ඔස්සේ යාමට තීරණය කිරීමෙන් පසු “තල්ලු කිරීමේ පප්‍රශ්ණය” අපගෙන් දුරස් විය. ඉන්පසුව ඔවුන් වෙන කාගේ හෝ සහයක් පතන්නට ඇත. එදින ඇති පදම් සංචාරකයින් පැමිණි බැවින් ඔවුනට සහය දෙන්නට කවුරුන් හෝ ඉදිරිපත් වුවාට සැක නැත.
මෙය අපගේ ආත්මාර්ථය ලෙස කෙනෙකුට පෙනෙන්නට පුළුවන. නමුත් සැබෑ කරුණනම් කැබ් රථ රියදුරා හෝ හිමිකරුවා දැනදැනම එම නඩයේ වූ පිරිස අමාරුවේ දැමීමකි. හදිස්සියකට උදව්වක් කිරීම වෙනකකි. මෙය වෙනමම කාරනාවකි.
වරෙක අප විල්පත්තුවේදී පණගන්වා ගැනීමට නොහැකිව නතර වී තිබු පැරණි වර්ගයේ ලෑන්ඩ් රෝවර් රථයක් ඇදගෙන කිලෝමීටර හතළිහකට ආසන්න දුරක් පැමිණියේය. ඒ කතාව වෙනම පැවසිය යුත්තකි.

කාණුවේ...

ප්‍රධාන මාර්ගය ඔස්සේ ආ අවස්ථාවේ අප ඉදිරියට පැමිණි යමුදාවේ බෆල් රථ දෙකක්ද අපට ඉඩ දීමට පාර අයිනට අයින් කිරීමේදී කාණුවට ඇද වැටුණි. රෝද හතරෙන්ම බල ගැන්වුණු ඒවා පවා ඉන් ගොඩ ආවේ ඉතා අපහසුවෙනි. මේ වන විටත් බොහෝ දෙනෙකුට අමතක වෙමින් පවතින යුධ සමයේ ඒවා යොදවා තිබුනේ උද්‍යාන ආරක්ෂක කටයුතු සඳහාය. නමුත් ඔවුන් දැකීමෙන් අප සිටින්නේ අනාරක්ෂිත ස්ථානයකදෝ යන දෙගිඩියාව සිතේ ඇතිවී නැතිව ගියේය.

මෙවැනි ලිස්සන මඩ සහිත පාරක රිය පැදවීමේ අවස්ථාව මා හට කිහිප වතාවක්ම අත්විඳින්නට හැකි වුයේ මෑත කාලයේ වීරවිල බලා ගිය ගමන් වලදීය. එහි ඇති පසද මඩ වන්නේ මේ ලෙසින්මය. රෝද හතරින්ම බල ගැන්වුණු වාහනය පවා එම පාරවල් වලදී යන්නේ පාරට ඕනෑ හැටියට මිස අපට උවමනා ලෙසින් නොවේ. වරක් මා එලෙස මඩවු මාර්ගයක මෝටර් බයිසිකලයක ඩබල් දමාගෙන ගොස් බෙල්ල කඩා නොගෙන බේරුණේ ඉතා අපහසුවෙනි. නමුත් එහි සිටින මිතුරන් කිසි අපහසුවකින් තොරව මඩ ගොහොරේ හොඳින් බයිසිකල් පැදගෙන යති.
කුඹුක් හෙවණේ....

මෙසේ ගමන්ගත් අප නොයෙකුත් දෑ බලමින් විහිළු තහළු කරමින් ගමන් ගත්තෙමු. වැස්ස නිසා කුරුල්ලන් සහ අනෙකුත් සතුන්ගේ පැහැදිළි අඩු වීමක් දැකගන්නට ලැබුණි. උඩවලවේ ජලාශයට දියවර සපයන ප්‍රධාන සැපයුම් මගක් වූ වේලි ඔය කරා අපි සේන්දු වී සිටියෙමු. මා මෙතෙක් සිතා සිටියේ එම ජල මාර්ගය හඳුන්වන්නේද වළවේ ගඟ කියාය. මෙලෙස ගමන්ගත් අප වේලි ඔය ඉවුරේ වූ කුඹුක් ගස් හෙවනක ඇති විවේකස්ථානයකට ලඟා විය. එහිදී උදේ ආහාරය ගත් අප සුළු මොහොතක් වටපිටාවේ අසිරිය විඳිමින් සහ කතා බහ කරමින් කල් ගත කළෙමු. එහි වුයේ සැබෑ නිස්කලංක භාවයකි. ඉවුරේ වූ රොන්මඩ තට්ටුවේ අප එතනට යාමට පෙර එහි ආගිය සතුන්ගේ අඩි සටහන් දක්නට විය. එහි රිළවුන්ගේ, මොණරුන්ගේ සහ තවත් හැඳිනිය නොහැකි කුරුළු වර්ග වල අඩි සළකුණු සටහන් වී තිබිණි. කුඹුක් සෙවනේ වූ මනබඳින සිසිල් පරිසරයෙන් මිදී නැවතත් වාහනයට ගොඩ වුයේ චාරිකාවේ ඉතිරිය සම්පුර්ණ කිරීමටයි.
අපි මඩවූ පාරේ යන ගමන්...
වැස්ස තරමක් තුරල් වූ පසු අප බොහෝ දෙනෙකුගේ මනාපය වූ කුරුළු වර්ග කිහිපයක් දැක ගැනීමට හැකිවිය. පොද වැස්සෙන් සිදු වූ බාධාව නිසා ජායාරුප ගැනීමට නොහැකි වීම විශාල අඩුපාඩුවකි. එමෙන්ම වාහනය නතර කරන ලෙස ඉල්ලු සමහර අවස්ථා වලදී රුවන් මෙන් ක්ෂණිකව ක්‍රියා නොකළ නව රියදුරු මහතා නිසා නිරීක්ෂණ කිහිපයක්ද, ජායාරූප ගැනීමේ අවස්ථාවන් කිහිපයක්ද මගහැරී ගියේය. වනෝද්‍යානයක් තුළට මෙවැනි වර්ගයේ රියදුරන් අප වැන්නන්ට ගැලපෙන්නේ නැත.

මේ කාලය වනවිට මා පාවිච්චි කලේ කැනොන් 400D වර්ගයේ කැමරාවකි. එය මිළදී ගත්තේ පත්තරේ දමා තිබු දැන්වීමක් හරහාය. මදක් පාවිච්චි කල බව දන්වා තිබු එහි දැකගත හැකි අඩුපාඩුවක් නොවූ නිසාත් ඔහු කියූ මිළ සාධාරණ නිසාත් මම එය මිළදී ගතිමි. මිළදී ගැනීමට පෙර ජායාරූප කිහිපයක් ගසා බලා එහි නිරවද්‍යතාවයද මට පෙනෙන අයුරින් පරීක්ෂා කර බැලුවෙමි. ටික දිනක් එය පරිහරණය කිරීමෙන් පසු එහි නාභිගත වීමේ ඉතා සුළු අඩුපාඩුවක් පවතින බව මා හට ප්‍රත්‍යක්ෂ විය. මා සිතුවේ එය ලෙන්සයේ වරදක් කියාය. මිලදීගත් නව ලෙන්සය හමුවේ වුවද අඩුපාඩුව එලෙසම විය. කලයුතු එකම දේ මා සිදු කලේය. කැමරාව විකුණා දමා කැනොන් 40D වර්ගයේ නව කැමරාවක් මිතුරකු මාර්ගයෙන් ගෙන්වා ගැනීමෙන් පසු ප්‍රශ්නය විසඳුනි. නව කැමරාවෙන් ගත් ජායාරුප දුටුපසු පැරණි කැමරාවෙන් ගත් ජායාරුප සියල්ල මකා දැමීමට සිත්වුයේ ඒවායේ වූ අඩුපාඩු වැඩි වැඩියෙන් පෙනෙන්නට වීම නිසාය. නමුත් පැරණි කැමරාවෙන් ගත් සාමාන්‍ය ජායාරූප (මිනිසුන්ගේ හෝ දර්ශනයන්හි) වල වෙනසක් ඇති බවක් නොපෙනේ.


පෙරදා රාත්‍රියේදී කැබ් රථයේ හිමිකරු සමග කතා කල අවස්ථාවේ වරුවට අය කරන බව කියූ රුපියල් තුන්දහස් පන්සීයේ මුදලට උද්‍යානය තුළ වරුව සම්පුර්ණ වනතෙක්, එනම් දහවල් දොළහ වනතුරු අප ගතකරන බව දැන්වූ පසු ඒ සඳහා ඔහුගේ එකඟතාවය ලැබුණි. හරියටම දොළහ පමණ වනවිට ආපසු යායුතු බව කියූ රියදුරු මහතාට තව ස්වල්ප වේලාවක් ගත කිරීමට සිදුවුයේ අතරමගදී දුටු යම්යම් දෑ නිසාවෙන් නතර කරන මෙන් අප දන්වා සිටි නිසාය.


එවන් අවස්ථා වලදී ඔහු වාහනය නතර කලේ තරමක අකමැත්තෙනි. එම රියදුරු මහතාගේ නම මා හට අමතකය, එයට හේතුව ඔහු මතකයේ පවතින විශේෂ යමක් අප වෙනුවෙන් ඉටු නොකළ බවක් සිතට නැගුනු නිසා වන්නටද ඇත. ආපසු ගමනේදී පවා කුරුල්ලන් සහ සතුන්ගේ පැහැදිළි අඩුවක් දැකගැනීමට හැකි විය. නිකරුණේ කාලය ගත කරනවාට වඩා ආපසු ඒම වඩා සුදුසු විය. දහවල් එක පමණ වනවිට උද්‍යාන දොරටුව අසළට පැමිණීමට අපට හැකිවිය. එහිදී අපගෙන් සමුගත් චන්දන මා ඔහු අත තැබූ තුටුපඬුරු ලබා ගත්තේ තරමක් අදිමදි කිරීමෙන් පසුවය. එයට හේතුව එදින ඔහු අප වෙනුවෙන් යමක් කලේ නැත යන සිතුවිල්ල ඔහු තුළ ඇතිවූ නිසා විය හැකිය.
කඩිමුඩියේ ආපසු ගමනට සුදානම් වෙමින්...

දහවල් එක ආසන්න වනවිට නවාතැනට අපව ඇරලවූ ඔහු හැකි ඉක්මනින් පොරොන්දු වූ මුදල්ද රැගෙන හන්දියට බලා පිටත් වුයේ සවස් වරුවේ තවත් නඩයක් රැගෙන වනෝද්‍යානය තුළට යා හැකිදැයි පරීක්ෂා කිරීම සඳහා විය යුතුය. දිවා ආහාරය කඩෙන් කෑම සඳහා කළින්ම තීරණය කරගෙන උන් බැවින් කුමාර අයියා ආහාර පිළියෙළ කර තිබුනේ නැත. මුහුණකට සෝදාගෙන පැමිණි පසු කුමාර අයියා තේපැන් වත්කරගෙන පැමිණ සිටියේ අපගේ මුහුණු වලින් දිස්වූ ගමන් විඩාව දුටුනිසා විය යුතුය. තේ බොමින් විහිළු තහළුවෙන් ඇඳුම් කැඩුම් සුදානම් කරනා අතරතුරේදී නවාතැන් ගාස්තුව පිළියෙළ කිරීමට කුමාර අයියා පිටත්ව ගියේය. ගමන්මළු සහ අප දැන් ආපසු ගමනට සුදානම්ය. බිල සාදාගෙන එනතුරු බලාසිටි ඉඩවරයේදී වන්නී සහ පඟරා පුටු දෙකක වාඩිවී ඈනුම් හරිමින් නිදි කිරමින් පසු උනහ.  ගැනීමට යෝජනා වූ බැවින් ඉතිරිව තිබු බඩුමුට්ටු කොටස කුමාර අයියා වෙත තබා ඒමටද තීරණය විය.

දින දෙකක නවාතැන් ගාස්තුව රුපියල් 8000 ක් විය. දිනකට කෑම පිසීම සඳහා රුපියල් 1500 කි. සම්පුර්ණ මුදල රුපියල් 11,000 කි. කලින් අත්තිකාරම් ලෙස 3000 ක් ගෙවා තිබු නිසා ඉතිරිය වූ 8,000 ගෙවා දමා කුමාර අයියාගෙන් සමු ගත්තෙමු. කැම පිසීමට ගෙන ආ බඩුමුට්ටු සහ ඉතිරිව ඇති සියලුම දෑ  කුමාර අයියා වෙත පවරා දමා සාම මාවත බලා ගමන් ඇරඹුවෙමු.

ඒ වනවිට වෙලාව හරියටම දහවල් එකයි තිහ විය. වැඩි ප්‍රමාදයකින් තොරව සාම මාවතේ බසය නතර කරන කුඩා කඩය අසළට පැමිණියෙමු. බසයක් පැමිණෙන තෙක් පැය භාගයකට ආසන්න වේලාවක් බල සිටීමට සිදු වීම අපරාධයකි. අනතුරුව එහි පැමිණි බසය ප්‍රමාදයකින් තොරව හරවාගෙන යන්නට වුයේ එහි සිටි මගීන් දාහතරදෙනා වූ අප එහි නැග ගැනීමෙන් පසුවය. R.E.T. හන්දිය බලා යාමට විනාඩි පහළොවක් විස්සක් පමණ ගතවන්නට ඇත. එහිදී බසයෙන් බැසගත් පසු කවුරුන්ගේ හෝ සිතක ක්ෂණිකව ඇතිවූ අදහසක් අනුව ඇත්අතුරු සෙවණ බලා යාමට පා ගමනින්ම පිටත් වූයෙමු. සවස තුනට පමණ අලි පැටවුන්ට කිරි ලබා දෙන දර්ශණය නැරඹිය හැකි බවට කවුරුන් හෝ පැවසීය. ඒ යන අතරතුරේදී පාර අයිනේ තිබු ගඳපාන මල් පොකුරක වැසූ සමනලයකුගේ ජායාරුප ගැනීමට උත්සාහ දැරුවත් එය එතරම් සාර්ථක උත්සාහයක් වූයේ නැත.

ඇත්අතුරු සෙවණ බලා ගොස් වැඩි වේලාවක් බලා සිටීමට අපහට සිදු වුයේ නැත. සවස තුනට විනාඩි කිහිපයකට පමණ පෙර අලි පැටවුන්ට ලබා දෙන කිරිවේල ලබා ගැනීම සඳහා අලි පැටවුන් පැමිණෙමින් සිටියහ. පිම්මේ දිවඑන පුංචි අලි බබාලා සහ තරමක් වැඩුණු පැටවුන් රොත්තක් එහිදී දැකගන්නට හැකිවිය. තරමක් වැඩුණු අලි පැටවුන් කියා කීවාට ඒ අලි පැටවුන් බොහෝ දෙනෙක් වයස අවුරුදු පහටත් අඩු උන් විය යුතුය.
කිරි වේල ලැබෙනකල්...
එහි සිටි පුංචිම අලි පැටවුන් පොරකමින් උදුර උදුරා මෙන් කිරි බොන දර්ශනය ඉතා සානුකම්පිතය. ප්‍රමාණයෙන් විශාල ලෙස සාපේක්ෂව සිතිය හැකි වුවත් සමහර පැටවුන්ගේ වයස මාසයක් හෝ දෙකක් විය හැකිය. ඒ මදිවාට ඔවුන් මව්වරු සහ මව්කිරි අහිමිව ගොස් අනාථ වූ කිරි සප්පයෝය. අම්මලා සමග සිටියේනම් උවමනා සෑම විටම කිරි බොන්නට ඔවුනට බාධාවක් ඇති නොවේ. ඔවුන් අනාථ වී ඇත්තේ අලින්ගේ සමාජ ක්‍රමයේ දුර්වලතාවයක් හෝ අලි මව හිතාමතා පොඩි පැටවුන් හැරයාම නිසා නොවීම ඛේදවාචකයකි. පොඩි වයසේදීම ඔවුන් අනාථ වී ඇත්තේ ඔබ අප වැනිවූ දෙපා සතුන් නිසාය. අනාථ කර ඇති ඔවුන්ගේ ආහාර ගැනීමේ අයිතිය පවා පාලනය වන්නේ මිනිසුන්ට රිසි පරිදිය. එහි සිටි කුඩාම පැටවුන් දෙදෙනාට බෝතලයෙන් කිරි බීමේ කිසිඳු පළපුරුද්දක් නොවීය. බීමට දුන් කිරි වලින් බාගයකට වඩා හැලුනේ බිමටය. එය උන්ගේ අවශ්‍යතාවය හා ගැලපේදැයි විමසා බලන්නට හැකි ක්‍රමයක් ඇත්තේද නැත.
පුංචිම පුංචි අලි පැටියෙක්....
එම දර්ශණය වැඩි වෙලා පැවතුනේ නැත. එය හමාර වු වහාම ඇත්අතුරු සෙවණෙන් පිටව ආ අප පා ගමනින්ම R.E.T. හන්දියට පැමිණියේ කෑමට යමක් සොයා ගැනීමටය. එහි වූ කඩ කිහිපයක් පිරික්සූ පසු ඉන් එකක බත් තිබෙන බව සොයා ගැනීමට හැකිවිය. මිරිසට පිස තිබු වැව් මාළු සහ තවත් හොදි වර්ග කිහිපයක් සමග සීතල වූ බතක් එහිදී අනුභව කෙළෙමු. කෑමෙන් අනතුරුව කොළඹ බලා යන දෙළොස් දෙනා ඇඹිලිපිටිය බලා යන බසයකද අනෙක් දෙදෙනා තණමල්විල බලා යන බසයකද නැගී පිටත් වුයේ එකිනෙකාගෙන් සමු ගැනීමෙන් අනතුරුවය. දීර්ඝ සති අන්තයක් නිමා වන ඉරිදා දිනවල බොහෝ නගර වල සිට කොළඹ බලා යන බසයක අසුන් ලබා ගැනීම පහසු කාරියක් නොවේ. කොළඹ බලා යායුතු වූ අපගේ පිරිස දෙළොස් දෙනෙකුගෙන් සමන්විත වීම නිසා එහි වූ අපහසුව තවත් වැඩි වී ඇත. ඇඹිලිපිටිය බලා යාමට හේතු වුයේ එයින් පටන් ගන්නා බසයක නැගීමෙන් එම ගැටළුවෙන් මිදිය හැකි වෙතැයි අනුමාන කල නිසාය.

එහි ගියත් බස් ප්‍රශ්නයට විසඳුමක් නොවිය. තිබුණු බසයේ වාඩි වීමට ඉඩක් නැත. තව බසයක් පැමිණෙන බවක් පෙනෙන්නටද නැත. ටික වෙලාවකින් කොළඹ සිට AC බසයක් පැමිණියේය. යම් හේතුවක් නිසා ඔවුනටද කොළඹ බලා ඉක්මණින් ආපසු යාමේ අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට විය. වැඩි දෙනෙකු එයට ගොඩවන පාටක්ද නැත. එහි කොන්දොස්තර මහතා සමග කතාකර සාමාන්‍ය බසයේ ගාස්තුව හා ආසන්න වු එනම් රුපියල් දෙසීයක මුදලක් ටිකට්පතක් වෙනුවෙන් අයකර ගන්නා පොරොන්දුව පිට අප දෙළොස් දෙනා එහි නැගුණෙමු. අපට පසුව එහි නැගුනු අන් මගීන්ගෙන් ඔහු අයකළේ කිනම් මුදලක්දැයි අප විමසිලිමත් වුයේ නැත. එය අප හට අදාළ කාරියක්ද නොවේ. කෙසේ හෝ රාත්‍රී නමයහමාර පමණ වනවිට අප රැගත් බසය කොළඹට ලඟා වුවේය.
එතැනදී වෙන්වූ අප තම තමන්ගේ නවාතැන් බලා පිටත්ව යාමෙන් ඉතා සුන්දර වූ තවත් එක් චාරිකාවක නිමාව එසේ සිදුවිය.

පසුවදන:
චාරිකාවේ අයවැය විස්තරය අන්තිම සතය දක්වාම අදටත් මා සතුය. එය මෙහි දැමීම අවශ්‍යය නැතැයි සිතේ. නමුත් යම්කිසි අදහසක් ඇතිකර ගැනීම සඳහා මුලික විස්තර යම් ප්‍රමාණයක් පළකිරීමට අවසර.
රාත්‍රී දෙකක් නවාතැන් සපයා, සියළුම වේල් සඳහා කෑමබීම, උද්‍යානය තුළ යාමට කැබ් රථ, ටිකට්පත්, බස් වියදම් යන සියළුම දේ සපයා දීමට එක් අයෙකුගෙන් අය කල මුදල් ප්‍රමාණ මෙසේය.
රැකියා කළ අයෙකුගෙන්(11 දෙනෙක්) අය කළ මුදල වුයේ රුපියල් 3000 කි. ඉතාම මෑතකදී රැකියාවට ගිය කුරූගෙන් රුපියල් 1000 ක්ද, ඒ වනවිට ඉගෙනුම හමාර කර නොතිබු අලයා සහ ගෝනාගෙන් කිසිදු මුදලක් අය කලේ නැත.
තරමක විශාල කණ්ඩායමක් සමග බසයක හෝ කෝච්චියක නැගී සරළ ලෙස යා හැකි සංචාරක ස්ථාන ලංකාවේ ඇතිපදම් ඇත. එවැනි ගමනකට වැයවන වියදම බොහෝ අඩුවන අතර ඉන් බොහෝ විනෝදයක්ද ලබාගත හැකිවනු ඇත.


උඩවලව චාරිකාව සඳහා අප සමග එක්වූ ඔබ සැමට මාගේ හදපිරි ප්‍රණාමය....!

මෙයාව මම ෆොටෝ ගැහුවේ වෙන තැනකදී, අළුත් කැමරාවෙන්. කැමරා දෙකේ වෙනස පෙන්නන්න තමයි මේක මෙතනට දැම්මේ...

18 comments:

  1. ලොකුවො මචෝ අර වගේ වෙලාවට පැත්තකට වෙලා බලං ඉන්නව දැක්කොත් නං ඉතිං උංට සොරිම තමා...
    සමහර විට අර කැබ් එකේ ඩ්‍රැවා ගැණ දුක හිතිල උදව් කලත් අර වගේ බං ඉන්නව දැක්කොත් නං උං ජීවිතේට මතක හිටින පාඩමක් ඉගෙන ගන්නව ඇයි යකෝ අපි කියල මැසින් යැ නැද්ද බං...
    පිංතූර ටික නං පංකාදු පහයි අර කැඩිච්ච ලඩිය වික්ක එකමයි හොද ඒක ගත්ත එකා නං පවු ඒත් නැත්තං උඹ පවු නෙව
    අලේ මං දල්ලෑ අලේ මක්ක දොඩන්නද කියල

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං...
      ඔහොම ඉන්න හැටි දැකල අපි එක්ක ගිය කෙල්ලෝ ටික අනම් මනං කිය කිය හිටියා.
      ඒත් ඉතින් කැලේ කොලේදී මනුස්සකම් නැති කොරගෙනත් බැහැනේ
      අපි ඉතින් කොළු කමට වාහනේට කරගැහුවා.

      ඒ කැමරා එකෙන් ෆොටෝ ගහන්න බැරි නැහැ., ගත්තු කෙනාට අසාධාරණයක් වෙච්ච බවක් දැනගන්න ලැබුනේ නැහැ
      ඒ ප්‍රශ්නේ එන්නේ දුර තියෙන දේවල් ෆොටෝ ගහන ලෙන්ස් වලින්
      ළඟ දේවල් ෆොටෝ ගහද්දි අවුලක් නැහැ
      මගේ වැඩි මනාපය කුරුල්ලෝ නිසා මට ඒකෙ බලපෑම වැඩිපුර දැනුනා.
      මොනා දොඩන්නද බං... එහෙම කලේ නැත්නම් මම හොඳටම පව් වෙනවනේ.... හික්

      Delete
  2. අලි කතාව ඔළුවටම වැදුනා.. ඔය ගත්ත අළුත් කැමරාවත් පස්සෙ කාලෙක විකුණල දැම්ම කියල කොහෙදි හරි කියෙව්ව මතකයි.. ඔව්ව ඔහොම තමයි ලොකු මලයෝ..

    අර කුඹුක් ගහයට කොක් අඩියෙන් කැමරාවත් බෙල්ලෙ එල්ලං ඉන්නෙ කවුද? මට හිතුනෙ ඒ අපේ ලොකු මලයයි කියල කැමරාව නිසා.. :)

    මේ කොටස් තුන පත්තරේකටවත් දාල තව වැඩි දෙනෙකුට කියවන්න පුළුවං වෙනවනම් කියල හිතෙනව. සොබාව ධර්මයට ලඟින් ඉන්න කැමති මිනිස්සුන්ට විවේකයක් ගත කරන්න කියල දෙන පුංචි ලෙක්චර් එකක් වගේ.

    ඉස්සරහටත් බලාගෙන ඉන්නව අලුත් වනගත අත්දැකීමක් බෙදා ගන්න එනකං.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අර පුංචි අලි පැටියව 2007 දී දැක්කට පස්සේ ඇති නොවුන හැඟීමක් මේ පෝස්ට් එක ලියන්න ගිහින් ඇති උනා.
      ඒකට හේතුව මට ඒ අලි පැටියගේ හැසිරීම එක්ක අපේ පොඩි එකාගේ හැසිරීමේ සමාන බවක් දැනුනා

      අන්තිමට දාල තියෙන ෆොටෝ එක ගත්තු කැමරා එකත් විකුනලා වෙන එකක් ගත්තා
      ඒ ගත්තු එකත් රට යන්න කලින් තිබ්බ සබ්බ සකළමනාවත් එක්කම විකුණලා දාල ගියේ
      ලඟදි පෝස්ට් එකේ දාල තිබ්බ ස්ටෝරි එකේ තිබ්බ කැමරාව රට ඉඳල ආපහු එනකොට ගෙනාපු එක
      ඒක තමයි ලඟදි විකුණුවේ.....

      ඔව් ඔව්... ඒ ඉන්නේ මම තමයි.

      තව ලියන්න කතා ගොඩක් තියෙනවා... ඉස්සරහට බලමු.
      පත්තර එක්ක ගණදෙනු කරන්න වෙලාවක් නැහැ ආයිබෝං...
      එහෙනං... ජයවේවා කිව්වා....!

      Delete
  3. ලොකුපුතා ආයේ ආවට පස්සේ ලියපු සටහන් එකින් එකට කියෙව්වා. මේ සංචාර සටහන් හරි අනර්ඝයි. විශේසයෙන් අඩුවියදම් සංචාරකයන්ට.
    මම වයිඩ්ලයිෆ් සංචාර වලට හරිම කැමති කෙනෙක්. ඒත් අපේ මිනිස්සු එක්ක කැලේ ඇවිදින්න වෙන්නේ තරහා සාක්කුවේ දාගෙන. ඉන්නේ ලංකාවේ. ඒ වුනාට සත්තු ගැන මේ ලෝකේ දෙයක් නොදන්නාකම. ඊගාවට සත්තුන්ගේ ක්‍රියාකලාපයට බාධා කිරීම. කැලේ අලියෙක් දැක්කම හූ කියනවා. කොයිතරම්ද කියනවා අපි මුලින්ම දැක්ක අලියා බය වෙලා හැංගුනත් එක්ක. ආයේ මුවෝ රංචුවක් දැක්කා. ඒක පෙන්නන්න මම හෙමිහිට කතා කරලා ඒ අයට පෙන්නන්න යනකොට ඒ අයගේ කෑගැහිමට මුවෝ තියා අලියොත් ඉන්නේ නෑ.
    කීවත් වගේ වාහනේකින් බැහැලා මේ වගේ කැලෑවල ඉන්න එක හරිම භයානකයි. ඒ වගේ රිස්ක් ගන්න හොඳ නෑ මොන හේතුවක් හින්දාවත්. මොකද කැලෑ සත්තුන්ගේ ඒරියා වලට ඇටෑක් කරන්න ආව වගේ හින්ද ඒ සත්තු මොන විදිහෙන් හැසිරෙයිද කියලා වගකීමක් ගන්න බෑ. මම විල්පත්තු ගියදවසට කලින් දවසේ අලියෙක් ජීප් එකක් අස්සෙන් ඔළුව දාලා මනුස්සයෙක් එලියට අරන් මරලා දාලා තිබුනා. ජීප් එක කුඩු කරලා තිබුනා. වගකිවයුතු ගයිඩ් කෙනෙක් හම්බවුනොත් කීයටවත් බහින්න දෙන්නේ නෑ. අනෙක අපි ඉන්ටෙර්ස්ටින් කියලා දන්නවා නම් උවමනාවෙන් සත්තු හා ඔවුන්ගේ හැබිටට් ගැන කියලා දෙනවා. මටත් ඒ වගේ රියදුරෝ හා ගයිඩ්ලා නිතර හමුවෙනවා. එහෙම කැපවීමෙන් වැඩ නොකරන කෙනෙක් හම්බ උනොත් ටොවර් එක අනාථයි.

    ReplyDelete
    Replies
    1. Buru යාළුවේ,
      බොහොම ස්තුතියි කමෙන්ට් එකට..... මමත් කැමති නැහැ ඒ වගේ සද්ද බද්ද දාගෙන, අපි ආපු අරමුණ විනාස කරලා දාන අයට.
      සත්තුන්ට කරදර කරන්නේ නැහැ කියන එකට මාත් එකඟයි. නමුත් අපි යන එකම සමහර වෙලාවට උන්ට කරදරයක්.
      ඇත්තටම අපි උනත් ඒ තරම් කැමති උනේ නැහැ අර විදිහට දිගින් දිගටම වාහනෙන් බැහැලා, අර කැබ් එක තල්ලු කරන්න
      උදව් කරන්න ඕනේ නිසා එහෙම කළා මිසක්.

      මේ අපි මුල් කාලේ ගිය ගමනක්, ඒ නිසා මේ කාරණා ගැන වැඩිය හිතුවේ නැහැ. හැබැයි ගමනෙන් ගතයුතු ප්‍රයෝජනය ලැබුනා කියල මම විශ්වාස කරනවා

      පසුකාලීනව වනජීවී සම්බන්ධ ආයතන, රිසර්ච් කරන සහ ඒ සම්බන්ධව උගන්වන, ඉගෙන ගන්න අය එක්ක එකට වැඩ කරන්න සහ කැලේ යන්න මට පොඩි ලක් එකක් තිබුනා සහ දැනටත් තියෙනවා
      ඒ හරහා ගොඩ වෙලාවට සිද්ධ උනේ අපි එක්ක යන උන්ගෙන් ගයිඩ්ලා ඉගෙන ගන්න එක.

      නමුත් සත්තු ඉන්න පුළුවන් තැන් අනුමාන කරලා හොයල දෙන එක කෙරෙන්නේ ගයිඩ්ලා අතින්.

      Delete
  4. සුපිරියට විස්තර කරලා තියෙනවා....රූප ටිකත් පට්ට....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ කමෙන්ට් එකට...

      උඹේ පෝස්ට් මගේ බ්ලොග් ලිස්ට් එකේ අප්ඩේට් වෙලා තිබුනේ නැහැ, මගේ බ්ලොග් ලිස්ට් එකෙත් “ටිකක් හිතන්න” බ්ලොග් එක තියෙනවත් එක්ක
      දැන් ආපහු ලිස්ට් එකට එකතු කලාම තමයි පෝස්ට් අප්ඩේට් වෙන්න පටන් ගත්තේ
      උඹේ බ්ලොග් එකේ නමින්ම තව බ්ලොග් එකක් තියෙනවද දන්නේ නැහැ

      Delete
  5. ලොකු පුතාගේ සටහන් පෙළ ආසාවෙන් කියෙව්වා. අර අන්තිම ෆොටෝ එකේ ඉන්න මෙයා කවුද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ...
      ඌට ඉංගිරිසියෙන් කියන නම "Purple Swamphen" එහෙමත් නැත්නම් "Purple Coot", සිංහලෙන්නම් "පොදු දම් කිතලා"...
      ලංකාවේ ගොඩක් පළාත් වල දකින්න පුළුවන් අලංකාර පක්ෂියෙක්.

      Delete
  6. සමාවෙයං ලොකු පුතා ප්‍රමාද වුනාට.

    උඹලා උපරිම ෆන් එකක් අරන් තියෙන බව පේනවා. අර වැඩිහිටියෝ දෙන්න ගැන මොකුත් නොකියා ඉන්න කල්පනා කලත් එක අතකට පපුවේ අමාරු කාර්යොද දන්නෙත් නෑ කියලත් හිතුනා. නමුත් වාහනේ තල්ලු කරන උඹලට උපහෙස් දෙන්න නාපු එක ලොකුම බුද්ධිමත් ක්‍රියාවක්. තල්ලු කරද්දි කට්ටිය නැගලා ඉන්නේ බර හරියන්න වෙන්න ඇති නේද? නැතිනම් රෝද පොලොවට බදලා අල්ලන්නේ නෑනේ, නැද්ද?

    සෙකන්ඩ් හෑන්ඩ් කැමරා ගන්න එකෙත් රිස්ක් එකක් තියෙනවා නේද? දැන් ඔය වගේ බැලූ බැල්මට නොපෙනෙන ලෙඩ හිම අහුවෙන්නේ කාලයක් ගියාමනේ.

    අර ටයර බලලා වාහනේ හයර් කරන එක වටිනා උපදෙසක් ලොක්කා.

    ඒක නෙවෙයි උඹ කියෙව්වද මම ලියපු යාල ට්‍රිප් එකක් ගැන ඔය වගේම?
    අලි මංකඩක අතරමංව! / Yala Adventure.
    සමහර විට නැතිව ඇති. උඹ ඒ දවස්වල ලංකාවට ආපු ගමන්ම නිසා බිසි මම හිතන්නේ.

    දැන් උඹේ ව්‍යාපාරික කටයුතු හෙම නැගලා යනවද ලොකු පුතා?

    ReplyDelete
  7. මොන සමාවල්ද බං...
    අපි හැමෝම බ්ලොග් ලියන්නේ දහසක් රාජකාරි, ප්‍රශ්න අතරේ කියන එක අපි හැමෝම දන්නවනේ
    අර බුවාලා දෙන්න ගැන අපේ හිත්වලත් අවුලක් ඇති උනේ නැහැ බං, ඒ දෙන්න ඒ දවස්වල අපි වගේ කොළු ගැටව් නෙමෙයිනේ....

    ඔරිජිනල් එකක් ගන්න සල්ලි නැති වෙලාවට පිහිට වෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු තමයි. ඒ වගේ වෙලාවට මම බැලුවට වඩා තවත් හොඳට බලල ගන්නවා ඇරෙන්න වෙන විසඳුමකුත් නැහැ.

    උඹේ පෝස්ට් එක බැලුවා පට්ට ආතල්...
    අර උදව්වට ආපු ඩයල් එක මාර උදව් ටිකක් කරලා තියෙන්නේ.
    ඇති ඔයින් ගියා,
    යාල ගිහින් සත්තු දකින්න නැති වෙන්න හේතුව ගියපු වෙලාවේ අවුලක් වෙන්නත් ඇති.
    අපිනම් යන්න කලින් ගයිඩ්ව බුක් කර ගන්න නිසා සහ යන්නේ මල පාන්දර නිසා කවදාවත් ගයිඩ්ලා ෂෙයාර් කරගන්න වෙලා නැහැ, ඒක මළ කරුමයක්නේ.
    අපිට ඕනේ දිහාක යන්නත් බැහැ, වාහන ඔහොම පේළියට යද්දී සත්තු දකින්න ලැබුනේ නැති එක අහන්න දෙයක් නැහැ

    ReplyDelete
  8. රසවත් ලිපියක්. මම ලිපි දෙකම කියෙව්වා.අපිත් ලඟදි උඩවලවේ වනෝද්‍යානය බලන්න ගියා.අපි නම් සද්දන්තයෝ ටිකක් දකින්න වාසනා කළා. vidudayakanduratamithuro බ්ලොග් එක බලන්න .
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි Wmk,
      අපිත් අලි සෑහෙන ප්‍රමාණයක් දැක්කා, නමුත් අපේ ඒ ට්‍රිප් එකේ අරමුණ උනේ කුරුල්ලෝ.
      ඒ නිසා අලි ගැන වැඩි අවධානයක් දුන්නේ නැහැ, ඒකට තව හේතුවක් තමයි උඩවලවේ අලි අතරේ හොඳ ශරීර ප්‍රමාණයේ අලි දකින්න අඩු වීම වෙන්නත් පුළුවන්.
      ඔබ සඳහන් කරපු ලොග් එක බලන්න මම නිවාඩු පාඩුවේ එන්නම්.
      ජය...!

      Delete
  9. හරිම ලස්සන පින්තුර ටික. අලි පටියට මම හරිම ආසයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි. උඹ දැන් ලියන්නේ නැද්ද.
      ලඟකදී මුකුත් දැම්මේ නැහැ කියල තමයි මතක.
      මමත් ඒ අලි පැටියට කැමතියි, ඌ හරියට අපේ පොඩි එකා වගේ...
      "දෙන්නම් වැඩක්" කියන්න වගේ තමයි ඌ එන්නේ.

      Delete
  10. කලින් කැමරාව බැක් ෆෝකස් වෙන පාටයි. කොහොම වුනත් අලුත් එකක් දැන් තියන නිසා ආයේ ඒ ගැන ඉතිං වැඩක් නෑ නෙව. මගේ හිතේ ආසාව තියනවා ඔහොම සංචාරයක් යන්න. උඩවලවේ දිහාවේ. බලන්න ඕනේ ඉතිං. අපි සංචාර යන්න පස්මහ බැලුම් බලල බොසාගේ මුණත් බලලම ඉන්න එපැයි. :)

    ReplyDelete
    Replies
    1. දැන් ආපහු කැමරා මුකුත් නැහැ...
      තිබුනත් වැඩකුත් නැහැ, ඇවිදින්න යන්න වෙලාව හිඟ නිසා...
      හිතේ ආසාව තියෙනවනම් බැළුම් බලබල ඉන්නේ නැතුව හදිස්සි තීරණයක් අරගෙන හරි යන්න ඕනේ.
      නැතිනම් කවදාවත් ගමනක් යන්න ලැබෙන්නේ නැහැ.
      මටනම් වෙලා තියෙන්නේ වෙන වෙන පෞද්ගලික ප්‍රශ්න සහ ගෙදර දොරේ වැඩ කටයුතු එක්ක වෙලාවක් නැතිකම...

      Delete