Monday 23 February 2015

නකල්ස් කඳු මුදුන බලා Knuckles Hike -කොටස 02


මේ වගේ ගම්පලාතක ඉන්න මිනිස්සු ගැන අමුතුවෙන් කියන්නේ දෙයක් නැහැනේ.  අපිත් එක්ක හොඳට කතාබහ කරලා “පුතාල කොහෙද යන්නේ” කියල විස්තර එහෙම අහලා අපිට ගයිඩ් කෙනෙක් විදිහට එක්කගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්න තැනක් ගැන හොදුවාවත් දුන්නා. එතන ඉඳලා කිලෝමීටරයක් විතර ඉස්සරහට ගියාට පස්සේ අපිට ඒ කියපු දෙමළ මනුස්සයාව මුන ගැහුණා. මට හරියටම ඒ මනුස්සයගේ නම මතක නැහැ, ඒත් ශිවා කියල වගේ මතකයක් තියෙනවා. ඒ නිසා මෙතන ඉඳල එයාව ශිවා කියල හඳුන්වන්නම්.

වැඩි වෙලාවක් යන්න කලින් ශිවා අඩුම කුඩුම ටික බෑග් එකකට දාගෙන අපිත් එක්ක යන්න ලෑස්ති වුනා. ශිවා විශේෂයෙන් අතට ගත්තු දෙයක් තමයි හොඳට කැපෙන වක් පිහියක්. දැන් මිනිහා ඉස්සර වෙලා යනවා අපි කට්ටිය පස්සෙන් යනවා. අපි දැන් යන හරිය වැස්සට හේදිලා ගිය තරමක බෑවුමක් තියෙන ගුරු පාරක්. මේ පාරේ ට්‍රැක්ටරයක් වගේ වාහනයක් යන්න පුළුවන් උනාට වෙන වාහනයක්නම් යන්න පුළුවන් කමක් නැහැ. පාරක් උනාට මේ හරියෙදිත් කූඩැල්ලන්ගෙන් කිසිම අඩුවක් තිබුනේ නැහැ.

මට කළින් කියන්න අමතක වෙච්චි දෙයක් තියෙනවා. අපි මේ ගමන පිටත් වෙද්දී හැමෝම කඳු නගින්න සුදුසු මට්ටමේ පරණ සපත්තු එහෙමත් අරගෙනම තමයි ආවේ. පහළ කඩේ කිට්ටුව තිබ්බ පාළම ගාවදි සෙරෙප්පු ගලවලා සපත්තු දා ගත්තා. බඩා නම් සෙරෙප්පු දෙක දිගටම දාගෙන යනවා කියල තමයි කිව්වේ. සපත්තු දා ගත්තු උදවියසපත්තුව පුරා නිල් සබන් කැටේ උලා ගත්තේ කූඩැල්ලෝ එල්ලෙන එක නතර කරවන්න හිතාගෙන. ඇඳුම් මාරු කරගන්න ඕනේ උදවිය ඇඳුම් එහෙමත් මාරු කරගෙන තමයි කන්ද නගින්න පටන් ගත්තේ.
පාළම උඩ සහ යට කඩල කමින්.
ටික වෙලාවකින් ඇඳි නැති කොන්ක්‍රීට් පාළමක් තියෙන ඉසව්වකට අපි සේන්දු වුනා. කූඩැල්ලන්ගේ කරදරෙන් බේරිලා දවල් කෑම කන්න පුළුවන් හින්ද එතන නතර වෙලා ගිමන් නිවාගෙන කලුවලගේ ගෙදරින් එන ගමන් අරගෙන ආපු තම්බපු කඩල පාර්සල් ටික ලිහාගෙන කෑවා. ශිවා අයිය ගෙදරින් කෑම කාල ආව කියල අපි දීපු කෑම එක එපා කිව්වා. කඩල කාල වතුර එහෙමත් බීලා ආපහු ගමන්. ටික වෙලාවකින් අපි ආපු පාරෙන් දකුණු අත පැත්තට තිබුන පුංචි අඩි පාරකින් හැරිලා කැලේ ඇතුළට යන්න පටන් ගත්තා. දැන් තමයි අමාරු හරිය. මුල්ම හරියේ යම්කිසි කාලෙක කැලේ කොටසක් කවුරුහරි ගිනි තියපු බවක් හිතන්න පුළුවන් සාධක ඉතුරු වෙලා තිබුනා. මේ විදිහට කැලේ මැද්දෙන් ගිය අපි තරමක් උසකින් තියෙන ලොකු ගල් ගෙඩියකට නැග්ගේ ගිමන් නිවා ගන්න විතරක් නෙමෙයි ඇඟේ එල්ලිලා ඉන්න කූඩැල්ලන්ව ගලවලා දාන්නත් එක්ක. නිල් සබන් ගෑවට පඳුරු අස්සෙන් යද්දී ඒවායේ ඉන්න කූඩැල්ලෝ ඇඳුම් වල හරි ඇඟේ කොහේහරි එල්ලෙනවා. මේ කාලේ වෙද්දී “කූඩැළු මේස්” ගැන අපි අහලවත් තිබුනේ නැහැ.

මේ හරියේදී මරු සීන් එකක් උනා. අපි අපේ අරුණගේ කාඩ් එක තමයි “දෙමළා”. ඌ පෙරාපු සිංහල උනාට අපි ඉදිරිපිටදීම කවුරුහරි මේ ළමයා දෙමළද කියල අහපු නිසා තමයි ඌට ඒ කාඩ් එක වැටුනේ. අපි ඌට මොකක්හරි කියන්නේ “දෙමලෝ” කියල කතා කළාම ශිවා දෙතුන් පාරක්ම හැරිලා අපි දිහා බැලුවා. මේ වැඩේ හරි යන්නේ නැති නිසා අපි ශිවාටත් කතන්දරේ තේරුම් කරලා දීලා, මේ ගමනේදී අපේ දෙමළට දෙමළා කියන්නේ නැතුව “ටැමිලා” කියල කියන්න එකඟතාවයක් ඇති කර ගත්තා. ඒත් සමහර වෙලාවට කාට හරි වැරදිලා පරණ නම කියවෙන එකත් ඉඳල හිටලා සිද්ධ නොවුනාම නෙමෙයි. ඒ ගමන ගිහින් ඇවිත් මේ වෙද්දී අවුරුදු 15 ක් ගත උනත් අදටත් ඌට  දෙමළා සහ ටැමිලා යන නම් දෙකම පාවිච්චි කරනවා.
ගලක් උඩ විවේකයෙන්. (දළසේයාපට කැමරා වල පැමිණිය හැකි ගැටළුවක්)
එතන ටික වෙලාවක් ඉඳල ආපහු ගමන පටන් ගත්තා. දැන් දිගටම වගේ තියෙන්නේ තද නැග්මක්. ටික වෙලාවකට පස්සෙ දහම මැරෙන්න වගේ හති අරින්න පටන් ගත්තා. අපි ඒ වෙලාවෙ තමයි දන්නේ ඌට හතිය තියෙනවා කියලා. ඌ තමයි එකක් ටෙන්ට් එකක් උස්සගෙන ආවේ. ඔක්කොටම කළින් මගේ සයිඩ් පොකට් එකේ තැන්පත් කරගෙන හිටපු ඩෙක්‍රෝස් එකක් කඩලා ඌට බොන්න දුන්නා. ඊට පස්සේ ඌට බර අඩු බෑග් එකක් දෙන්න ගියාම තමා අපිට තේරුණේ දහම් උස්සගෙන ආපු ටෙන්ට් එක දාලා තිබුන බෑග් එක කොයි තරම් බරද කියන එක. මම මගෙ බෑග් එක කපුටටද කොහෙද දීලා දහම් ගාව තිබ්බ බෑග් එක කරේ එල්ල ගත්තා.

මේ ටෙන්ට් එක දාපු බෑග් එකේ බර මදිවට ටෙන්ට් එක හයි කරන්න ඕනෙ කරන යකඩ බට වගයකුත් තිබුනා. ඒ ටික මිටියක් විදිහට ගැටගහලයි තිබ්බේ. මුලින් අපේ අදහස උනේ ඒ බට මිටිය එක එක්කෙනා සැරින් සැරේ ගෙනියමු කියලා. ඒත් තමන්ගෙ වාරය ආවහම ඒක බාර ගන්න හැමෝම වගේ අදිමදි කරා. ඒක හරි කරදරයක් නිසා පස්සෙ බට ටික එක ගානේ හැමෝටම බෙදල දුන්නා. ඒත් බට කීපයක් ඉතුරු උනා. ඒවත් බෑග් වල පිටිපස්සෙන් එල්ල ගත්තම තිබ්බ කරදර ඔක්කොම ඉවර වෙලා ගියා විතරක් නෙමේ අතේ තිබ්බ බට කඳු නගිද්දී ආධාරකයක් විදිහටත් ප්‍රයෝජනවත් වුනා.

බෑග් එහෙ මෙහෙ මාරු වෙද්දී තමයි දැනගත්තේ බල්ලාගේ බෑග් එක ලොකුවට පෙනිලා තියෙන්නේ හිස් බැරල් එක නිසා කියලා. ඒ නිසා අපේ බෑග් වල තිබ්බ සැමන් ටින් වගේ බර දේවල් තොගයක්ම උගේ බෑග් එකට පටවලා දැම්මා.
මහා බෑවුම් තරණය
කන්දෙ අන්තිම හරිය නගිද්දි පිටිපස්සෙන් එන කෙනාගෙ තල්ලූවක් පවා වුවමනා වෙන තරමටම බෑවුම වැඩියි. ටෙන්ට් බෑග් එක නිසා මාව පස්සට ඇදිලා යන ගතියක් දැනුනා ඒ හරියේදී. කන්දෙ නැග්ම අංශක 80ක්වත් වෙන්න ඇති කියලයි මට හිතූනෙ. ඊට පස්සේ තිබුණ කොටසේ බෑවුම අඩුයි. ශිවා කියපු විදිහට අන්තිමටම තියෙනවා කියපු දිය උල්පත ගාවට ගිහින් ඇතිවෙන්න වතුර බිව්වා. බෝතල් වලටත් පුරව ගත්තා. බැරල් එකට වතුර පුරවා ගන්න එක පසුවට කල් දැම්මේ මේ තියෙන බරත් එක්ක තවත් උස්සගෙන යන්න බැරි නිසා. ආපහු ඇවිත් බැරල් එකට වතුර ගෙනියමු කියලා තීරණය උනා.
කඳු මුදුන බලා පැමිණි පසු

කඳු මුදුනේ.

රවුම ඇතුළේ ඉන්නේ එහා කඳු මුදුන තරණය කරන අපේ මිතුරන්ය

කඳු වැටිය ඔස්සේ යමින්...
මේ සියළුම බාධක අතරේ හවස 4:30ට විතර කන්ද මුදුනට නැග ගන්න පුළුවන් වුනා. වට පිටාවෙ ඉන්න කූඩැල්ලො මොන වගේ විපතක් අපිට කරයිද කියල හිතා ගන්නවත් බැහැ. ඒ තරමට කූඩැල්ලෝ ගොඩක් මම සිංහරාජෙදිවත් දැකලා තිබුනේ නැහැ. කොහොම කොහොම හරි දෙමළයි බඩායි තව කීප දෙනෙකුයි ටෙන්ට් එක අටවන අතරෙ අපි හතර පස් දෙනෙක් ගියා දර හොයන්න. ස්කෝල කාලෙදි කැඩෙට් කලා කියලා කළින් පම්පෝරි ගහපු අපේ අයියල ටෙන්ට් එක ගහන්න ගිහින් දහ අතේ කැරකෙනවා කියලනම් අපිට තේරුණා.
කඳවුරු භුමිය අවට. සවස 5 ට පමණ
කඳවුරු ගසමින්...
මෙහේ තියෙන දර වලට දර කියලා කිව්වට ඒවට දර කියල කියනවට අපිට කියක් හරි දෙන්න ඕනේ. කඳු මුදුනේ හැම තැනම තියෙන්නෙ කුරු ශාක වර්ග නිසා ඒවයේ දරත් ඒ වගේම පුංචියි. ඒ මදිවට හොඳටම තෙත් බැහැලා, දර අහුලන අතරේ මට හිතුනේ මේවා කොහොම පත්තු කර ගන්නද කියලා. ඒ මදිවට පත්තු කරන්න තරම් ලොකු දර කෑල්ලක් හොයා ගන්න එක හරියට කළුනික හොයනවා වගේ අමාරු වැඩක්.
ගිනිමැලය සකසමින්.
හොයා ගත්තු දර කෑලි ටික තෙතෙබරිත වෙලා තිබුන තණකොළ අඩු හරියක ඒ ටික ගොඩ ගහල පත්තු කරන භාරදූර කටයුත්ත ඊළඟට. ඒකෙත් ජය අපිට වුනාට කෑමක් රත් කරගෙන කන එක හීනයක් කියල තමා අපිට පෙනුනෙ. ඒ වගේම අපි කල්පනා කරල හරි නොදැනුවත්වම හරි වැඩිපුරම කන්න කියලා ගෙනත් තිබුනෙ පාන් නිසා ඒ තරම් නෙමේ කෑම ගැන ලොකුවට මහන්සි වෙන්න වුවමනා වුනේ නැහැ.
මේ අතරේ අපෙන් දෙතුන් දෙනෙක් ගිහින් බැරල් එකටයි හිස් වෙච්ච බෝතල් කීපෙකටයි වතුර පුරවගෙන ආවා.

අමතක කරන්නෙ නැතුව කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි අරගෙන ගිය ඩෙක්‍රෝස් ගැන. ඒවා අපි හැමෝටමත් වඩා වැඩිපුර දහමට ප්‍රයෝජනවත් වුනා. අපි හැමෝටමත් පාන් කියා ගන්න බැරි මට්ටමට ආපු හැම වෙලාවේම වගේ ඩෙක්‍රෝස් වලින් ඇඟට සැළකිය යුතු පණක් ලැබුනා.
කඳවුරු භුමිය.



අපි දර හොයගෙන එනකොට ටෙන්ට් දෙක නම් අටවලා තිබුනා. රෑ හීතල යන්නත් එක්ක ලොකු ගිනි මැළයක් ගහමු කියලා හිතුවට දර නැතිකම නිසා සහ සැරින් සැරේ එළියට ගිහින් ඒක නිවෙන්න නොදී තියා ගන්න බැරිකම නිසා ගිනිමැලේ කතන්දරේ පොඩ්ඩක් අවුල් සහගත මට්ටමක තිබුනේ. අමාරුවෙන් ගහගත්තු ගිනිමැලේ වටේ ටික වෙලාවක් හිටගෙන සහ වාඩිවෙලා පොඩ්ඩක් උණුසුම් වෙන්න හැමෝටම පුළුවන් වුනා. ගිනිගොඩ ළඟටම කකුල් දෙක දික් කරගෙන හිටපු කපුටාගේ එක සපත්තුවක් ගිනි ගන්න හදනවා කියල කවුරුහරි දැක්කේ මේ වෙලාවේ. ඒකෙන් හොඳටම දුම් දානවා. එන්න එන්නම හුළඟ ගොඩක් වැඩි වෙනවා, ගිනිගොඩ තිබ්බට සීතල අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා ටෙන්ට් ඇතුළට ගාල් වෙන එක හොඳයි කියල අපි තීරණය කලා.

ඒ උනාට ඒකත් අවුලක්. කවුරුහරි ගිනිමැලේ බලන්න සහ වෙනත් අවශ්‍යතාවන්ට එළියට ගිහින් එන්නේ කූඩැල්ලො දහ පහළොස් දෙනෙක් ඇඟේ එල්ලගෙන. ඊට පස්සෙ අපි තීරණය කලා ගින්න නිවිලා ගියත් කමක් නැහැ. වැඩිපුර එළියට යන්නෙ නැතුව ඉන්න එක ඇඟට ගුණයි කියලා. ඒත් ස්වභාවික අවශ්‍යතාවයකට එළියට ගිහින් ආපු කපුටා කූඩැල්ලො කීප දෙනෙක් අරගෙන ඇවිත් තිබුනා. එකෙක් හිටියෙ කපුටගෙ ඛෙල්ලෙ එල්ලිලා. ඉක්මණටම රෑ කෑම අරගෙන නිසා ගැනීම සුදුසුයි කියල තීරණය උනා.

පාන්, මාජරින් සහ රට ළුෑනු ඛෙදලා දුන්නා. තුන් දෙනෙකුට එක පාන් ගෙඩියක්, රට ළුෑනු ගෙඩි බාගයක් ගාණෙ ඛෙදලා දුන්නා. ඒ අපි කැලේදි කාපු පළවෙනි කෑම වේල නිසා ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නැහැ. හැබැයි කට්ටියගෙ මූණු වලින් නම් පෙනුනේ කෑවා මදි වගේ පෙනුමක්.

අපි හිටපු ටෙන්ට් එක ඇතුළෙ මම, තරිඳු, දෙමළා, එළුවා, කපුටා හිටියා, අනිත් එකේ දහම්, බඩා, බල්ලා, චූටි බබා කළුවා සහ ශිවා හිටියා. අපි එක එක කතා කිය කිය නිදිමත එනකල් කල් මැරුවා. එහා පැත්තෙ ටෙන්ට් එකේ ගියපාර කැම්පස් එකේ අපේ බැච් එකෙන් කරපු කලා මංගල්‍යයක් ගැන මොකක් හරි කතාවක් ඇදිලා ඇවිත් දහම් සෑහෙන්න හිත නරක් කරගෙන තිබුනා. DTB දහමට කියලා තියෙනවා උඹ ඒකෙන් “සල්ලි හොරකම් කලා” වගේ තේරුම එන ප්‍රකාශයක්. DTB කියන මනුස්සයා මොන වගේ කෙනෙක්ද කියන එක අපිට තේරෙන්නෙ නැත්තෙ මෙන්න මේ වගේ දේවල් නිසා තමයි. එහෙම දෙයක් වුනා හෝ නොවුනා හෝ ඒ වගේ දෙයක් කතා කරගන්න ඒ මෝඩයට මේ කන්ද උඩටම එන්න ඔනෙ වුන එක තමා පුදුම.

කොහේ හරි සංචාරයකදි කරන්න නරකම දේ තමා ඒ යන කණ්ඩායම තුළ ඇති වෙන හිත් නොහොඳකම්. එදා ඇති වුන ප්‍රශ්නෙනම් හැමෝටම වගේ රෑ එළි වෙනකොටම අමතක වෙලා ගියා. ඒත් දහම ඊට පස්සෙ කිසිම යූනියන් වැඩකට සහභාගී වුනේ නැහැ.

එදා රැය ගෙවා ගන්න එක තමා අපිට තිබ්බ අභියෝගය වුනේ. මේ වගේ හීතල තෙතබරිත කැලේක ටෙන්ට් එකක් ඇතුළෙ ගුළි වෙලා ඉන්න එක ලේසි පහසු වැඩක් නෙමේ. අපි ටෙන්ට් එක ගැහුවේ තණබිස්සක. ඒ තණකොළ ගුටි ගුටි වගේ හැදිලා තියෙන්නේ ඒවා හරිම තදයි. හරියටම මගේ කොන්ද යට එයින් ගුලියක් තිබුනා. ඒ මදිවට මම හිටියෙ ටෙන්ට් එකේ අයිනක නිසා මගෙ ඇඟේ එක පැත්තක් හොඳටම හීතල වෙලා. මුළු රෑ පුරාම වගේ මම කලේ එළි වෙන්නෙ කීයටද කිය කියා වෙලාව බලපු එක විතරයි. මගෙ තනියට තරිඳුත් ඇහැරිලා “වෙලාව කීයද බං” කියකියා හිටියා. මේ වෙද්දී අපි “ස්ලීපින් බෑග්” ගැන අහලවත් තිබුනේ නැහැ. එහෙම උනානම් ටිකක් හරි මේ දුකෙන් මිදෙන්න තිබුනා.

උදේ නැගිට්ටට පස්සේ තමා අපිට මේ ගමනේ අපහසුතා වලින් හොඳම හරියට මූණ දෙන්න සිද්ධ වුනේ. ශරීර කෘත්‍යය කරගෙන හෝද ගන්න වුනෙත් අර බෝතල් කීපයෙ තියෙන වතුර වලින්. ඒ වෙනුවෙන් වෙනම වතුර බෝතල් කීපයක් වෙන් කරලා  වතුර ඛෙදලා දුන්නෙත් සළාක ක්‍රමයට. එක මෙගා සයිස් බෝතලයක් දුන්නා තුන් දෙනෙකුට හෝද ගන්න. මීට අමතරව ඔළුව කල්පනා කරල අරගෙන ගිය සර්වියේට් පේපර් ටිකත් සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා හැමෝටම වගේ. ඒ ක්‍රියා කලාපයෙන් පස්සේ සමහර තැන් මිනිස්සුන්ට යන්න බැරි තහනම් කළාප විදිහට හඳුන්වන්නත් සිද්ධ වුනා. කෙනෙක් ගිය තැනකට ආපහු තව කෙනෙකුට යන්න බැරි වෙන තරමට වැඩ සිද්ධ වෙලා තිබුණා. මීට අමතරව හැමෝටම වගේ විඳින්න වුන කරදයක් තමා මේ කර්තව්‍යය අතර වාරයෙදි එල්ලෙන්න හදන කූඩැල්ලන්ගෙන් බේරෙන එක යාන්තම් උදේ 7 විතර වෙද්ද ඒ අපහසුතාවයන් ටික ඉවර වුනා.
ගමනට සුදානම්ව.
වැඩි වෙලා යන්න කලින් අපි ලෑස්ති වෙලා, ටෙන්ට් දෙකත් අකුලගෙන උදේ කෑම පසුවට කල් දාල ගමන පටන් ගත්තා. අද දවසේ අපේ අරමුණ උනේ මීමුරේ ට බැහැගන්න එක. කූඩැල්ලන්ගෙන් බේරෙන්න අරගෙන ගිය නිල් සබන් කැට දෙකෙන් මේ වෙනකොට ඉතුරු වෙලා තිබුනෙ බොහොම ටිකයි. මේ තරම් කූඩැල්ලන්ගෙන් කරදර වෙයි කියලා මට නිකමටවත් හිතිල තිබුනෙ නැහැ. හැබැයි මේ වගේ ගමන් වලින් මම හොඳ පන්නරයක් ලැබුවා ගමනක් යද්දි ගෙනියන්න ඕනෙ මොනවද නැත්තෙ මොනවද කියන එක ගැන.

ලිවීමේ රටාව කිසියම් නොදන්නා හේතුවක් නිසා මෙතනින් ඉදිරියට වෙනස් වී ඇති බව කරුණාවෙන් සළකන්න.

ගමන පටන් අරන් වැඩි දුරක් යන්න ලැබුනේ නැහැ. ඉදිරයෙන් ගිය පිරිස යම්කිසි දෙයක් දැක නතර වූ නිසා අපද එම ස්ථානයට වහා ළඟා විය එහි වූයේ ටික දොහකට ඉහතදී මිය ගිය ගෝනකුගේ සුන් බුන් ගොඩකි. එය කෙසේ සිදු වූවාද යන්න සිතීම පසුවට කල් දැමූ අප නැවතත් ගමන ආරම්භ කළෙමු. නමුත් එම දර්ශනය අපගේ සිත් තිගැස්වීමට සමත් වුවද කිසිවෙකු හෝ එය හෙළි කලේ නොමැත.
ටික දුරකදී මගපෙන්වන්නා විසින් යොමු කරන ලද  දිය පහරක් හරහා යාමට අප හට සිදු විය. දිය පහර දිගේ තරමක් දුර ගමන් ගත් අප සැමගේ අදහස වූයේ දැන්වත් විඩා නිවා ගතයුතු බවය. දිය පහර අයිනේ ඇති ගල් ගෙඩි කිහිපයක් මත හිඳ ගමන් වෙහෙස නිවා ගනිමින් ද ආහාර පාන ගැනීමකින්ද සන්තර්පණය වීමු. එම ගල් ගෙඩි කිහිපය උඩ නතර වී සිටියත් කූඩළු ප්‍රහාරයෙන් ගැළවී ගැනීමට නොහැකි විය.
විවේකයක් සහ කූඩැල්ලන් ගලවමින්.
නැවත ගමන් ඇරඹීමේදී කූඩැල්ලන් ඇඟේ එල්ලීමේ වේගය වැඩි විය. කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගැල්වූ සියළු ආලේපන ජල පහරේ දිය වී ගොසින් ඇත. සපත්තු තුළට අනවසරයෙන් ඇතුල් වූ කූඩැල්ලන් ඇද දැමීමද කළනොහැක. ඒවා තුළ ඇති වතුර නිසාවෙනුත් සපත්තු ගළවා උන් ඇද දැමීමට ගියහොත් තව තවත් උන්ගේ ප්‍රහාරයට ගොදුරු වියහැකි බැවිනුත් රිසි සේ ලේ දන් දෙමින් ගමන් කළෙමු. එහිදී දැනුනු අපහසුව අදටත් මා හට සිතින් විඳිය හැක. ලේ බී තරවූ කුඩැල්ලන්ගේ තර බව යටිපතුළට දැනෙද්දී එය නොතකා ගමන් කිරීම කෙතරම් අපහසුවක්ද යන්න තේරුම් ගත්තේ එදාය.

අපගේ මග පෙන්වන්නා සම්බන්ධව සැකයක් ඇති වූයේ මෙන්න මේ අවස්ථාවේදීය. මීමුරේ යාමට පාර දන්නා ලෙසට ගමන් ඇරඹු ඔහු ලකේගල ඇති දිශාව බලා මී මුරේ සොයා යෑමට දැරූ උත්සාහයද නිරර්තක වෙමින් පැවතුනි. වරින් වර ඇද හැලෙන මී දුම ඔහුගේ අදහස මුදුන් පමුණවා ගැනීමට ඉඩ නොදෙන්නට තීරණය කළාක් වැන්න. අප තුළ පැවති අධික උද්යොගයත් අභියෝග සඳහා මුහුණ දීමට ඇති ආශාවත් හෝ එසේත් නොමැතිනම් වෙනත් කිසියම්ම හේතුවක් නිසා හෝ ඔහු අනුව යාමට කිසිදු පසුබෑමක් අප තුළද නොවීය. වරින් වර මීදුමෙන් වැසි වැසී නොපෙනී යන ලකේගල අපගේ ඉළක්කය ලෙස තබා ගැනීම කොතරම් අපහසුවක් දැයි අප හටද තේරුම් යමින් පැවතුණි. කැලෑව තරමක් උසට වැඩී ඇති විටෙක ලකේගල දැක ගැනීමේ හැකියාවක්ද නොවීය.
මහා බෑවුම්...
අප බැසිය යුතු දිශාව සම්බන්ධව පැහැදිළි අවබෝධයක් මේ වන විට ඇති වී තිබුනද සොබාදහම විසින් කළ යුත්තේ කුමක්ද යන්න මුළ සිටම තීරණය කර අවසන් කර තිබුණි. වරෙක අපි බොහෝ සාර්ථක ලෙස පල්ලම බැසගෙන ගිය අතර මිහිදුමට ආවරණය වූ විශාල ගල් පර්වතයක් ඇස් අභියසම දිස් වූයේ අප විශ්මයට පත් කරවමිනි. එවන් විශ්මිත දෑ බොහෝ ඈ සතු විය. බැසගෙන යා හැකි යැයි සිතෙනා මාර්ගයක් ඔස්සේ බැසගෙන ගිය විට හමු වූයේද විශාල පල්ලම් පමණි. මෙම අවස්ථාවේ පසුපසින්ම පැමිණියේ කපුටාය. මම පැමිණියේ ඔහුට ඉදිරියෙනි. එවනි අවස්ථා කිහිපයකදී අවසානයට පැමිණි කපුටාගේ සහ මාගේ පාදයන් වැදී ගල් කිහිපයක් ගැලවී ගිය අවස්ථා කිහිපයකදී ඉදිරියෙන් සිටි පිරිස දැඩි අවධානමකටද ලක් විය. එවැනි විටෙක හොඳ සිංහල බසින් අප ඇමතීමට ඔවුන් අමතක කලේ නැත. එහෙත් එසේ වීමට හේතුව ඉදිරියෙන් ගමන් ගත් ඔවුන්ගේ පාදයන් නිසා බුරුල් වූ ගල් බැව් අමතක නොකළ යුතුය.

වරෙක අප ඉතා සාර්ථක ලෙස පහළට බැසගෙන ගියෙමු. කන්දේ ආනතිය අංශක 70 කට වඩා වැඩි මිස අඩු නැත. පහළින් දිය ඇල්ලක් වැටෙන ශබ්ධයක් ඇසෙන්නට පටන් ගත්තේ අප සෑහෙන දුරක් පහළට බැස ගැනීමෙන් පසුවය. මෙතැනින් පහළට බැස යා හැකි වෙතැයි දැඩි විශ්වාසයක් අප තුළ ඇති වී තිබුණු අවස්ථාවක් වූ එහිදීද අපගේ බලාපොරොත්තු කඩ වී ගියේය. එහිදී දහම් පැවසූවේ අප විසින් කඹ කිහිපයක් හෝ රැගෙන ආ යුතුව තිබූ බවයි. එසේනම් මෙම පල්ලම බැසගැනීමට හැකිවනු ඇත යන්න ඔහුගේ අදහස විය. එහි වුයේ අවම වශයෙන් සියයකට වඩා වැඩි බෑවුමකි. කඹ වලින් බැසීමේ කිසිදු පළපුරුද්දක් නැති අප එවැනි උත්සාහයක් දරුවේනම් අපගේ කතාව මීට වඩා බොහෝ වෙනස් එකක් වන්නට ඉඩ තිබුණි.

නැවතත් ආ පාරෙන්ම ඉහළට නැග කඳු වැටිය දිගේ ගමන් ඇරඹුවෙමු. එවර අප ඉදිරියේ වූයේ තවත් බාධකයකි. අප පැමිණි මගේ වූ පැහැදිළි බව අවසන් වී ඇත. එක් වරම වදුලූ ස්වරූපයක් ගත් කැලයකි ඉදිරියෙන් දිස් වූයේ. යාමට ඇති එකම මගනම් ඌරන් වැනි සතුන් ගමන් කරනා උමගක් වැනි මගක් පමණි. එහි ඇති අනතුර හඳුනා ගත් බැවින්දෝ මගපෙන්වන්නා වූ ශිවා ඉදිරියෙන් ගමන් කිරීම ප්‍රතික්ෂේප කලේය. කවුරුත් මුහුණට මුහුණ බලමින් සුළු වේලාවක් ගත කළ අතර ඔහු අත වූ පිහිය ඉල්ලාගත් මා ඉදිරියෙන් යාමට ඉදිරිපත් වීමෙන් ගැටළුව නිමාවිය. එහෙත් කරදරවල නිමාවක්නම් නොවීය. යා යුත්තේ දණ ගාගෙනය. ඉදිරයෙන් ඇති අවහිරතාද ඉවත් කල යුතුය. වැල් වල පැටලෙන බර පොදි නිදහස් කර ගැනීමද දණ ගාමින්ම සිදු කල යුතුය. ඉදිරියෙන් වල් ඌරෙකු හෝ වෙනත් සතෙකු පැමිණියේනම් කළහැකි දෙයක් නොමැත.
එළිමහන් බිමක විවේකයෙන්...
කෙසේ හෝ එම අවහිරය නිමා කරමින් යම් දුරකට අකුල් වලින් තොර බිමකට පැමිණීමට හැකි වීම මහත් සහනයක් විය. එහෙත් ඒ වන විට අප පිරිස කායිකව සහ මානසිකව බොහෝ දුරට වෙහෙස වී සිටියාට සැකනැත. “දෙයියන්ටවත් කියමුයන ශිවාගේ හඬත් සමගම සැමගේ සිත් තුළ බියක් ඇති වූ බව මුහුණු වලින් මොනවට දිස්විය. ශිවා අයියා අනුව යමින් අප සියල්ලෝම කඩා ගත් අතු රිකිළි ගසක අත්තක එල්ලා පිහිට යැද්දේ කිසිදු පැකිලීමකින් තොරවය. එහිදී එකිනෙකාගේ ඉල්ලීම් අනෙකෙකුට නොඇසීම වඩා හොඳය.

පසුව ලද අවසරයෙන් සියල්ලෝම පාහේ ඩෙක්‍රෝස් වේලකින් සප්පායම් වීමු. යළිත් ගමන් ඇරඹුවද යන්නේ කොහිද යන්න ගැන කා හටවත් ප්‍රශ්නයක් හෝ අරමුණක් නොවීය. එක් වරම අප ඉදිරියෙන් වඩා එළිමහන් බිමක් දිස් වීම අපගේ බලාපොරොත්තු ඉහළ නැංවීය. එහිදී යමක් බඩට දමා ගැනීම හොඳ බව කාගේත් මකය විය. ඒ අතරවාරයේ දෙතුන් දෙනෙකු මදක් එහාට ගොස් ගසකට නැගී හෝ ලකේගල දිස් වන්නේදැයි බැලීමට කල අවසන් උත්සාහයද මීදුම නිසා මගහැරී ගියේය. පාන් සමග මොන මොනවාදෝ ගිල දැමීමෙන් පසුව තවත් ඉදිරියට යෑමේ අදහස අත්හැර දැමීමට අප තීරණය කලේ වෙන කළහැකි යමක් නැති බැවිනි. අප පැමිණි මගේම ආපසු ගියහොත් අවම වශයෙන් කලින් දින කඳවුරු ගැසූ බිම වෙත රෑ බෝ වන්නට පෙර යා නොහැකි වනු ඇත.

නමුත් මෙහිදී එක් වරම මීදුම පහ වී යාමෙන් පසු පෙරදා රැයේ අප කූඩාරම් ගැසු කඳුගැට පෙළ තරමක් ආසන්නයෙන් දිස් විය. කෙළින් බැලු විට එය උපරිම කිලෝමීටර දෙකකට වඩා වැඩි නොවන්නට ඇත. දවස පුරා ඇවිද්දත් අප සිදු කර ඇත්තේ බොහෝ දුරට වටේ කැරකීමක් බව එයින් ඔප්පු විය.

යළි කඳවුරු භුමිය වෙත ලඟාවීම සහ චාරිකාවේ අවසානය ඉතිරි කොටසින්....

16 comments:

  1. ඌරො යන පාරවල් වල බදින තුවක්කු තියනව , කැලේ යද්දිනම් හොදම බුලට් එකක් හොයාගෙන යන්න ඕනෙ . අපි එක පාරක් දොළුකන්ද ( අප්‍රසිද්ද කාලෙ ) කැලේ පැත්තෙන් බහිද්දී තව පොඩ්ඩෙන් තුවක්කුවකට අහු වෙනව . හරක් බලන පොඩි එකෙක් එන්ඩ එපා කියල කෑ ගැහුව . ඒකෙන් බේරුනේ.
    ලොකු පුතා පරණ ෆොටෝ හොදට පරිස්සම් කරගෙන තියනව වගේ.

    ReplyDelete
    Replies
    1. මේ කන්ද මුදුනේනම් බඳින තුවක්කුවක් බඳින එක තේරුමක් නැති වැඩක්. සතෙක් මරා ගත්තත් කිලෝමීටර බර ගානක් උස්සගෙන යන එක ලේසි වෙන්නේ නැහැ.
      ඒත් සිරා කියපු කතාව ඇත්ත. කැලේ යද්දී අපි පරිස්සම් වෙන්න ඕනේ.
      ඒ දවස්වල ගයිඩ් ල ගැනවත් කැලේ ගැනවත් ලොකු දැනුමක් ඇතුව නෙමෙයිනේ බං මේ ගමන ගියේ.

      මේ ෆොටෝ ටික තාමත් මගේ ගාව තියෙනවා. නෙගටිව් එකනම් මේ ගමන ගියේවත් නැති කෙනෙක් ඉල්ලගෙන නැතිකරලා දාල තිබුනා.
      මම මේ දැම්මේ ඒවා ස්කෑන් කරලා ගබඩා කරගෙන තියෙන ෆොටෝ වලින් ටිකක්.
      අනික මේ කැමරා එක කොරියන් කාරයෙක් දීපු තනිකර ප්ලාස්ටික් එකක්. අර ඉස්සර තිබුනේ ෆොටෝ ටික ගහලා කැමරා එක විසි කරන්න පුළුවන් වර්ගයක්.
      අන්න ඒ කැමරා එක මට්ටමේ තියෙන කැමරා එකක්.
      මේ තරමටවත් ඒකෙන් ෆොටෝ ගහපු එක ලොකු දෙයක්.

      Delete
  2. හම්මේ දෙකම කියෝල පට්ට හති යකෝ...
    මොකෑ වුනේ හැබෑටම ගමන ඉවර වෙලා සිවාට හොම්ම රිවට් කලේ එහෙම නෑ නෙ නේහ්

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්...
      තවම ඉවර නැහැ මචෝ... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. තව තියෙනවා ඔහොම යන්...
      ඊට පස්සේ අහපන් ශිවා පණ පිටින් තාම ඉන්නවද කියන ප්‍රශ්නේ...

      Delete
  3. ඔහොම ඩෙට්‍රොස් බිව්වොත් දියවැඩියාව හැදිලා මැරෙයි යකෝ.... ආතල් නේද

    ReplyDelete
    Replies
    1. ඒවා නැති උනානම් බලාගන්න තිබ්බා. අඩු ගානේ බෝතලයක් දෙකක් ගෙනියන්නවත් සල්ලි තිබ්බේ නැහැ බං මේ කාලේදී.

      Delete
  4. කූඩැල්ලෝ බාගෙට කනකොට කඩන්න හොඳ නෑ. උගෙ දල ඉතුරු උනාම කසල වණ වෙනවා. ලුණු වතුර ටිකක් දැම්මම හැලෙනවා. ඒත් ඉතින් ඔය මහ කැලේ ගෙනියල තිබ්බෙ නැත්නම් ලුණක් කොහෙන් හොයන්නද? දෙවෙනි දවසේ ඇවිද්ද විදියටනම් මගෙත් ඇඟ රිදෙනවා. ගමන ඉවර වෙලා හොඳ නරක කතා කරමු. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කූඩැල්ලෝ කියන ජාතිය තෙත් කලාපේ අපිට ඒ තරම් විසක් නැද්ද කොහෙද. මාව කවදාවත් කසලා තුවාල වෙලා නැහැ
      කෑම හදන්න ගෙනියපු ලුණු බෑග් වල තිබ්බද කොහෙද. ඒත් ඒවා ප්ර යෝජනේට ගන්න වෙලාවක් උනේ නැහැ. කාගේ බෑග් එකේද ඒවා තියෙන්නේ කියලවත් මතකයක් තිබුනේ නැහැ.
      දැන් අන්තිම ටික ලියමින් පවතිනවා.
      ජය වේවා...

      Delete
  5. යකඩ උනත් කන්න ඇහැක් කාලෙක ගිය නිසා යහතින් ආව උනාට, කිසිම සූදානමක් නැතුව, පෙර පුරුද්දක් නැතුව මෙහෙම ගමන් යන එකෙන් වෙන්නෙ ලස්සන මතක වෙනුවට කරදර මතක ටිකක් ඉතුරුවෙන එක. අඩුමතරමෙ ස්කවුටින් ධීරයා වෙනකල්වත් කල එකෙක් එක්ක ගියානම් ඔයිට වඩ තත්වෙ වෙනස් වෙන්න තිබ්බ!

    කමක් නෑ, ඉක්මනට ඊලඟ ටිකත් දාහන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපි එක්ක ස්කවුටින්, කැඩෙට් එහෙම කරපු අපතයෝ කීප දෙනෙක් හිටියට උන් හරියට පෆොර්ම් කලේ නැහැ. සමහර විට ඒ තරමට ඉහළට කරපු නැති උන්ද මන්දා.
      ඊටත් වඩා අපේ උන් සමහර වෙලාවට අමුතු මානසිකත්වයක ඉන්න බවකුත් මම දැකල තියෙනවා. කාට හරි වගකීම බාර දුන්නම ඒ සියළුම දේ වගකීම බාරගත් පුද්ගලයා බාර ගත යුතුයි කියන මානසිකත්වයක් අපේ උන්ට තිබුනා. ටීම් වර්ක් වල ලොකු අඩුවක් තිබුන අවස්ථා ඕනේ තරම්.
      ඒ මදිවට අඩුපාඩුවක් උනොත් ඒකට ආඩපාලි කියන එකත් අඩු නැතුවම කලා.
      කොහොම නමුත් මම ඒවායෙන් හොඳ පන්නරයක් ලැබුවා කියන එකනම් කියන්න ඕනේ.

      Delete
  6. නියමයි. සෙරෙප්පු දාගෙන කඳු නගින එකේ ආතල් එක මං පහුගිය දොහේ ග්‍රේට් වෙස්ටර්න් කන්ද නගිද්දි අගේට අත්වින්දා. ලිස්සලා බෙල්ල කඩා නොගත්තේ අනූනමයෙන්. හිටිගමන් සෙරෙප්පු පටි පෙරළිලා වැටෙන්න යනවා. ඒක නිසා රජෝ කඳු නගිද්දි නම් සෙරෙප්පු හරියන්නෙ නෑ.
    උඹලෑ ගයිඩ නම් නල්ල මලේ පොරක් වගේ. ඔයින් ගියා මදැයි.
    ඉතුරු ටික මීට වඩා රසවත් වගේ...

    ReplyDelete
    Replies
    1. සෙරෙප්පු දාගෙන කඳු නගිද්දී මමත් උඹ කියන කට්ට කාල තියෙනවා. හැබැයි සිංහරාජේ වගේ යද්දී ගැලපෙන්නේ සෙරෙප්පු දෙක තමයි. සපත්තු දානවනම් අනිවාර්යයෙන්ම “Leech socks” දාන්නම ඕනේ.
      ගයිඩ ගැනනම් කතා කරලා වැඩක් නැහැ, ඒත් ඌ හිත හොඳ මිනිහෙක්.
      ඔව් ඔව් මචං... හොඳම හරිය ඉස්සරහට...

      Delete
  7. හම්මේ මෙච්චර පර්ණ ෆොටෝ මේ තරම් හොදට පරිස්සම් කරන් තියන් හිටිය එකම කොච්චර දෙයක්ද?

    බොරු කියන්නේ මොකටද ඉතින්.. මට නම් මේ වගේ කඳු නඟින්න සෙට් වෙලාම නෑ.. තව ඉස්සරහට ඉතින් චාන්ස් එකක් ඒවිද කියන්නත් බෑ ඉතින්..

    ReplyDelete
    Replies
    1. මේ ෆොටෝ ටික තාම මගේ ගාව තියෙනවා. ස්කෑන් කරලා ළඟ තියෙන නිසා මෑතකදී චෙක් කරල බැලුවේ නැහැ .
      මම සියළුම පරණ ෆොටෝ ස්කෑන් කරලා තියාගෙන ඉන්නේ ඒවා මොනවහරි වෙලා සවුත්තු උනොත් අනාථ වෙන නිසා.

      ලංකාවේ බැරි උනාට දිනේෂ් ට ඔහේ ඉන්න කවුරුහරි එක්ක සෙට් වෙලා මේ වගේ නැතත් තනි දවසේ හරි ගමන් යන්න පුළුවන්නේ. අපේ රටේ අයට වඩා ඔය රටවල මිනිස්සු හයිකින්, කෑම්පින් එහෙම යනවා නේද.
      මෙහෙ වගේ නෙමෙයිනේ ජලාශයක් අයිනේ, පාරක් අයිනේ උනත් කුඩාරමක් අටවගෙන ඉඳල එන්න පුළුවන්නේ බයක් සැකක් නැතුව.
      ලංකාවේදී එහෙම ඉන්නනම් කොල්ලෝ සෙට් එකක්ම වෙන්න ඕනේ.

      Delete
  8. තව පාරක් කියවනවා ඒ තරම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. එළ... කෝ උඹේ බ්‍රෑන්ඩ් එක. අපිට එදා ඒවා තිබ්බනම් ගොඩ.
      කොහෙද බං අතේ සල්ලි නැහැ මේ කියන කාලේ.

      Delete