Friday, 13 January 2012

පාසල් විත්ති 09 - අවුරුදු 14 ට පසු යළිත් අක්කාගේ බෝඩිමට

අන්තිමට මේ විදිහට කීප වතාවක් ඉසුරුපායේ රස්තියාදු උනාට පස්සේ මට අපේ ගමට කිට්ටුවෙන් තියෙන අධ්‍යාපනයට ගොඩක් හොඳ බව කියවෙන ගෙදර ඉඳලම යන්න පුළුවන් ඉස්කෝලයක් ලැබුනා.
චුටි අක්කගේ අඩිපාරේ ගිහිං කොළඹ ඉස්කෝලෙකට යන්න ඕනේ වෙච්ච මට මේ ඉස්කෝල ගැන මුලින් කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් මේ ඉස්කෝලෙට ආවට පස්සේ මම තේරුම් ගත්තා මේ තමයි මට ගැලපෙනම තැන කියලා.
අර ඉස්කෝලෙන් අර බෝඩිමෙන් මිදිලා ආපහු ගමට, ගමේකම තියෙන ළමයි අතරට එන්න ලැබිච්ච එක ගැන මට පුදුම සතුටක් දැනුනේ.


එදා මුලින්ම මාව ඉස්කෝලෙට බාර දීපු දවසේ අම්මත් අපේ පන්තිය ගාව හිටියා හවස්වෙනකල්. එදා අපේ පන්තියේ සමිතියේදී ළමයින් දක්වපු දක්ෂතා දැකල අම්මටත් ගොඩක් සතුටුයි. අම්ම එදා හවස්වෙනකල් මම එනකල් හිටියේ මම මීට කලින් බස් එකේ තනියම ගිහිං නැති නිසා.


ඊට පහුවෙනිදා ඉඳල මම තනියම ඉස්කෝල ගමන පටන් ගත්තා වගේම ඒ ඉස්කෝලේ වටිනා සිහිවටන ගොඩක් මගේ ජීවිතේට එකතු කලා.
මම කලින් පෝස්ට් වල ලියපු හොරෙන් නාන්න යන ඇළ එහෙමත් තියෙන්නේ මේ ඉස්කෝලේ ගාව තමයි. අන්තිමට මම උසස්පෙළ කලෙත් මේ ඉස්කෝලේමයි.


ගුරුවරු සම්බන්ධව මට තියෙන අඳුරු මතකයන් මෙතනින් නිමා වෙන්නේ නැහැ. ඒ කතාවල් බ්ලොග් එකේ දානවද නැද්ද කියන දෙගිඩියාවක තමයි මම තාමත් ඉන්නේ. බලමු ඉස්සරහට....

...............................................................................................................

දැන් මේ කියන්න හදන්නේ 2005 වසරේදී වෙච්ච සිද්ධියක්......


මේ වෙද්දී මම උසස් අධ්‍යාපනය ලබනවා, ඒ කාලේ මට කැම්පස් එකේ ඉඳල ගෙදර යන්න එන්න බයික් එකක් අරගෙන දීල තිබුන අපේ අම්මල. 
මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ මගේ බයික් එක වගේම බයික් එකක පින්තුරයක්..
එක දවසක් මම අහම්බෙන් වගේ මගේ බයික් එකේ නැගල ඔය පැත්තෙන් ගියා. මම පිටකෝට්ටේ හිටියේ 1991 දිනේ. 2005 වෙද්දී  ඒ පැත්ත මට මතක තිබුනට වැඩිය ගොඩාක් වෙනස්වෙලා. රජමහා විහාරයට හැරෙන තැනම පල්ලියකුත් හදලා. ඒ දවස්වල එතන හිස් ඉඩමක්ද කොහෙද තිබුනේ.
මට එක පාරට හිතුන අර ගෙදරට ගිහිං එන්න. ඒ ගෙදරට යන පුංචි පාර හොයා ගන්නත් බැරි උනා එක පාරටම. මම ඒ ළඟ තිබුන කඩෙන් ඇහුවා "සුනිල්රත්න" මහත්තයලගේ ගෙදරට යන්නේ කොතනින්ද කියලා. ඒ මනුස්සය කිව්වා එහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා "අර ඉසිපතනෙ වැඩ කරපු කෙනා" කියලා. ඒත් එයා දන්නේ නැහැ කිව්වා. අන්තිමට මම මට මතක විදිහට හරියි කියල හිතුන බොහොම වල් වැදිච්ච පාරකින් පහළට බැස්සා. එහෙට යන්න කලින් ඒ කඩෙන්ම කේක් ගෙඩියකුත් ගන්න මම අමතක කලේ නැහැ.


හරි එතන තමයි ගේ,,,,
ඒ ගෙදර ඉස්සර තිබ්බ පෙනුම දැන් නැහැ, ටිකක් පරණවෙලා ජරාවාස වෙලා වගේ ගතියක් තමයි මට දැනුනේ.
මම යද්දී අක්ක ගේ ඉස්සරහ ඉඳගෙන පොඩි එව්වෝ දෙන්නෙකුට කෑම කවනවා. මට මතක විදිහට එතන හිටියේ කෙළි පොඩ්ඩෝ දෙන්නෙක්ද කොහෙද, අක්ක තරුණ කාලේ මුණුවර තිබ්බ ඒ ළමයින්ගේ. අක්කනම් ඒ වෙද්දී තරමක් වයස පාටයි.
මම කවුද කියල අක්ක මුලින් අඳුනගත්තෙ නැහැ. ඉතින් මම කවුද කියල මමම අඳුන්වල දුන්නා, ඊට පස්සේ එයා සර්ට කතා කලා.


මෙන්න අර ඉස්සර අපේ ගෙදර නතරවෙලා හිටපු xxx ඇවිත් කියලා. සර් ඇවිත් මට ගේ ඇතුළට කතා කලා. මම ඉතින් සර් එක්ක ගේ ඇතුළට ගිහිං වාඩිවෙලා තේ එකක් එහෙම බොන ගමන් විස්තර කතා කලා. එයත් මගේ විස්තර ඇහුවා. මම කිව්වා මම දැන් කැම්පස් එකේ ඉගෙන ගන්නවා, තව මාස කීපෙකින් කෝස් එක ඉවරයි කියලත් කිව්වා. එයානම් දැන් හිටපු ඉස්කෝලෙන් අස්වෙලා අධ්‍යාපන කාර්යාලයේ කිව්වා වැඩ කරන්නේ. උදව්වක් ඕනෙනං කියන්න කිව්වා.
දැන් මොකටද උදව්... 
මම එහෙම කිව්වේ නැහැ, හිතුනා විතරයි.


කොහොම උනත් අක්කනම් මගෙත් එක්ක වැඩිය කතා කරන්න ආවේ නැහැ, ටිකක් ලජාවෙන් වගේ තමයි එයා හිටියේ.
සමහරවිට ළමයි ලැබුනට පස්සේ අක්කල ජිවිතේ තේරුම් ගත්ත වෙන්නත් පුළුවන්.  හැබැයි සර්ගේ මුණේ එදා වෙද්දීත් මම අර කපටි පෙනුම එහෙම්මම තියෙනවා කියල දැක්කා.  කාලයත් එක්ක එයාගෙනම් වෙනසක් වෙලා නැහැ වගේ. ඉස්සර ඉඳලම බාගෙට තට්ටේ පෑදිලා තිබ්බ ඔළුගෙඩියේ මුදුන හරියේ තට්ටේ වහගන්න වවාගෙන හිටිය දිගු කෙහෙරැලි ටික ඒ විදිහටම තිබුනා.
එයාලගේ ළමයි එයාලගේ වයසත් එක්ක බැලුවහම ගොඩක් පොඩියි කියල මට හිතුනා. මම හිතන්නේ මේ ළමයි ලැබෙන්න ඇත්තේ ගොඩක් පස්සේ කාලෙක වෙන්න ඇති.


අන්තිමට මම අංකල් ගැනයි ඇන්ටි ගැනයි ඇහුවා. ඇන්ටි දැන් ටික කාලෙකට කලින් නැති උනාලු. අංකල් නම් බොහොම වයසට ගිහිං කන්දෙක ඇහෙන්නෙත් නැහැ. කාවවත් අඳුනගන්නත් බැහැ.
එයාට මාව අඳුන්වල දෙන්න හැදුවට හරිගියේ නැහැ.
දැන් ඒ ගෙදර වැඩකාරියෙකුත් නැහැ. මම ඒ ගැන අහන්න ගියෙත් නැහැ.


කොහොම නමුත් මම සර්ලගෙ ගෙදර ගියේ එයාලට රිද්දන්න හිතාගෙන නෙමෙයි. මම කැමතියි අතීතයේ සැරිසරන්න. ඒ වගේම මම කලින් ගෙවපු ජීවිතේකට එක පාරටම එබිලා බලන්න. ඒක මගේ එක පුරුද්දක්.
මේ වගේ කාලයක් තිස්සේ මග ඇරිච්ච ජිවිත එක පාරට හමු උනාම කලින් කොයි තරම් ප්‍රශ්න තිබුනත් මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා.
ඒ නිසා වෙන්න ඇති මට ලේසියෙන් කා එක්කවත් එක දිගට තරහවෙලා ඉන්න අමාරු.


මේ විදිහට මගේ ජිවිතයේ අවුරුද්දක් වැනි කෙටි කාල පරිච්ජේදෙකදී හමුවෙච්ච එක්තරා චරිත කිහිපයක් සම්බන්ධව මගේ හිතේ තැන්පත් වෙච්ච මතකයන් මෙතනින් නිමා වෙනවා.
මාත් එක්ක මෙච්චර දවස් රැඳී ඉඳල මගේ ඉස්කෝලෙ කාලේ 6 වසරේදී මම විඳපු බොහොම අපූරු සහ දුක්බර මතකයන් කියවපු කමෙන්ට් කරපු ඔබ හැමටම බොහොම ස්තුතියි.

Tuesday, 10 January 2012

පාසල් විත්ති 08 - රෝහිණීට හාද්දක්... බෝඩිමට සමු දුනිමි

එක දවසක් අපේ පන්තියේ හිටපු චරිත් අමුතු කතාවක් අපේ කනේ තිබ්බා. මේ ලොකු ඉස්කෝලේ ඉන්න මුල් ගුරුතුමා ඉස්සර වැඩ කලේ එයා ඉගෙන ගත්තු ඉස්කොලෙලු, කැලණිය පැත්තේ. අන්තිමට එහේ වෙච්ච මොකක්දෝ මන්ද ප්‍රශ්නයක් නිසා ළමයි ස්ට්‍රයික් කරලා එයාව ඉස්කෝලෙන් පැන්නුවා කියල තමයි එයා කිව්වේ. මම බෝඩිමේ අක්ක එක්ක මොනවහරි කතා කරකර හිටපු වෙලාවක අපේ පන්තියේ ළමයෙක් මෙහෙම කතාවක් අපිට කිව්වා කියල කිව්වා. ඉතින් අක්කත් ඒක අහගෙන හිටියා මිසක් ඒ කතාව ඊට එහාට ගියේ නැහැ. මටත් ඒ කතාව එහෙම්මම අමතකවෙලා ගියා.


සමහර දවස්වලට නිදා ගන්න ගියාම රෝහිණි මගෙන් අපේ පවුලේ විස්තර ගමේ විස්තර එහෙම අහනවා. ඉතින් නින්ද යනකල් අපේ දෙන්න මේ වගේ අනං මනං කතා කරන එකගැන එක දවසක් අක්ක මට පොඩි සවුත්තුවක් දැම්මා. ඔය දෙන්න මහ රෑ වෙනකල් කතා කරකර ඉන්නේ මොනවද. ඔය දෙන්න හරියට කසාද ගෑනියි මිනිහයි වගේනේ කියලා. ඒ මදිවට සර් එක්කත් ඒක කියකිය මාව සවුත්තු කලා.
කෙල්ලෙක් එක්ක යාළුයි කියල කියන එක තරම් ලොකු අවමානයක් නැහැ ඒ දවස්වල අපිට. මට ගොඩක් කේන්ති ගියා අක්ක කියපු කතාවට. මමත් කවුරුවත් කාමරේ නැති වෙලාවක් බලලා අක්කට ලියුමක් ලිව්වා. ඒකේ තිබුනේ මෙන්න මේ වගේ සාරාංශයක්.
අක්කනම් අයියල එක්ක යාළුවෙලා ඉන්න ඇති, ඒත් මමනම් කාත් එක්කවත් යාළු නැහැ කියලා වගේ තේරුමක් තියෙන දේවල්.
එහෙම ලියල මගේ පොතක් අස්සේ ඒ ලියමන හංගල තිබ්බා. ඒක ලිව්වේ හිතේ තිබුන දුක අඩු කරගන්න මිසක් අක්කට දෙන්න නෙමෙයි.
එක සති අන්තෙකදී මාව බලන්න තාත්ත ආවේ නැහැ. ඒ වෙනුවට නුගේගොඩ ටියුෂන් පන්ති ආපු අපේ සුදු අක්ක එයාගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක ආව මාව බලල න්නයි, බෝඩිමට සල්ලි දීලා යන්නයි. බෝඩිමේ සල්ලි අපි හැමදාම ගෙව්වේ මාසේ ගානේ. මාසේ මුල සතියේදී සල්ලි දෙනවා. එයාල ආවට වැඩි වෙලාවක් එහේ හිටියේ නැහැ, අක්ක එක්ක ඉස්සරහ පුටු සැටියේ වාඩි වෙලා විනාඩියක් දෙකක් කතා කරපු සුදු අක්කා මට සල්ලිත් දීල පන්ති යන්න පරක්කු වෙනවා කියල හදිස්සියෙන් වගේ ආපහු යන්න ගියා. ඒ මදිවට මට කන්න මුකුත් ගෙනත් තිබුනෙත් නැහැ.



සාමාන්‍යයෙන් උදේට ඉස්කෝලේ යන්න මාව ගොඩක් වෙලාවට රෝහිණි හරි වෙන කෙනෙක් හරි ඇවිත් ඇහැරවනවා. ඉස්සර මට උදේට කන්න පාන් හදල දුන්නේ අක්කනේ. ඒත් දැන් රෝහිණි ආවට පස්සේ අක්ක හොඳට නිදා ගන්නවා. උදේට බොන්න තේ හදන්නෙත් රෝහිණී. මම නැගිටින්න කලින් රෝහිණිත්, සර්රුත් නැගිටිනවා.
එක දවසක් මට උදේ ඇහැරවන්න කලින් චූ බර හැදිලා නැගිට්ටා. එදාත් මම සුපුරුදු විදිහට සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න තමයි අර ප්ලාස්ටික් දොර ආවරණය හරහා ගියේ. ලොකු කෙනෙකුට ඒ දොර හරහා යන්න බැහැ සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න. ඒත් මම පුංචි නිසා මට යන්න පුළුවන්. නාන කාමරේට යන්නනම් කුස්සිය පහු කරගෙන යන්න ඕනේ මේ ගෙදර. මම චූ දාන්න යද්දී දැකපු දසුනෙන් මට උන් හිටිතැන් අමතක වෙලා ගියා.
අපේ සර් රෝහිණිව බදාගෙන ඉන්නවා කුස්සිය ඇතුලේ.


මගේ චූ බර කොහෙන් ගියාද කියල නැහැ, චූ දැමිල්ල පැත්තකට දාපු මම ආපහු කාමරේට ආවා. ඇවිත් ඇඳේ ඇලවුනා.
ටික වෙලාවකින් කාමරේට ආපු රෝහිණි "xxx බබා" ඔයා මොකද බයවෙලා වගේ ආපහු ආවේ. ඔයා මුකුත් දැක්කද කියලත් ඇහුවා.
මම කිව්වා නැහැ කියලා.
ගෑස්ලිප වැඩ කරන්නේ නැතුව සර් ඒක හදහද හිටියේ කියල රෝහිණී කිව්වා.
ඊට පස්සේ මමත් මුකුත් දැක්කේ නැති ගානට ගිහිං ලෑස්තිවෙලා ඉස්කෝලේ යන්න පිටත් උනා සර් එක්ක. සර් දෙතුන් පාරක් මගේ දිහා හොරෙන් බලනවා මම දැක්ක එයාගේ කපටි බැල්ම දාගෙන.


මෙහෙම දවසක් දෙකක් ගියාම එක දවසක සති අන්තෙක සර් මට ටිකක් සැරෙන් කතාකලා සාලෙට එන්න කියලා.
උඹ මොනවද මේ කියන්නේ "අක්ක එකඑක කොල්ලෝ එක්ක යාළුවෙලා හිටිය" කියලා, උඹ දැක්කද ඒවා කියල ඇහුවා. උඹට මෙහේ ඉන්න බැරිනම් පලයන් යන්න කියල බැන්නා.

කොහොමහරි මම නැති අතරේ අක්ක මගේ පොත් අවුස්සපු වෙලාවක මම අර ලියල තිබ්බ ලියුම දැකල කියවලා ඒක සර්ට දීල. ඒ විතරක් නෙමෙයි අර චරිත් කියන ළමයා ප්‍රින්සිපල් සර් ගැන කියපු කතාවත් සර්ට කියලා. සර් මේ දෙකම ගැන කියකිය මට හොඳටම බැන්නා. මම එදා දවසෙම ගොඩක් ඇඬුවා.

ඉස්කෝලේ ගියාම මම ප්‍රින්සිපල් ගැන එක එක කතා පතුරනවා කියලා මාව විනයබාර ගුරුතුමෙක් ගාවට යවනවා කියලත් කිව්වා.



මම කිව්වා මම ලියුම ලිව්වේ අක්ක මාව රෝහිණී එක්ක යාලුයි කියල කියකියා විහිලු කරන නිසා. මම කා එක්කවත් යාලු නැහැ.
මම ගෙදරට කියල අලුත් බෝඩිමක් හොයා ගන්නම් කිව්වා අලුත් අවුරුද්දේ. මම ආපහු මෙහේ එන්නේ නැහැ කියල මම අඬඅඬකිව්වා.
මේ වෙද්දී දෙසැම්බර් නිවාඩුවත් කිට්ටුවෙලා තිබුනේ.

අන්තිමට එක දවසක ලොකු අයිය කෙනෙක් අතේ කවුද මන්ද සර් කෙනෙක් අපේ පන්තියට පණිවිඩයක් එවල තිබුනා මාව එක්කගෙන එන්න කියලා. මම ඒ සර් හිටපු ලැබ් එකක් වගේ ලොකු ශාලාවට ගියේ බයේ ගැහි ගැහී. මාව එතනට ගෙනත් අරලපු අයියා යන්න ගියා. දැන් එතන ඉන්නේ මමයි අර සර්රුයි විතරයි. එයා මහා මරුමුස් පාටයි. අතේ ලොකු වේවැලකුත් තිබුනා.

එයා මගෙන් එකඑක ප්‍රශ්න ඇහුවා, ප්‍රින්සිපල් ගැන කතාව මගෙන් ඇහුවේ මාව ගොඩක් බයකරලා. මම කිව්වා මම එහෙම එකක් දන්නේ නැහැ. අපේ පන්තියේ ඉන්න "චරිත්" කියන ළමය තමයි එහෙම කතාවක් අපිට කිව්වේ කියලා මම කිව්වා.
ඊට පස්සේ එයා  ඇහුවේ "උඹ දන්නවද මේක මොකක්ද කියලා, මේක මට දුන්නේ උඹ ඉන්න ගෙදර සර්" කියල කිව්වා, එයා අතේ මම අක්කට ලියපු ලියුම තිබුනා. එයා ඒක පෙන්නලා කිව්වා මට අදම පුළුවන් උඹව මේ ඉස්කෝලෙන් එළවලා දාන්න කියලා.
මම කිව්වා බෝඩිමේ අක්ක මම ඒ ගෙදර වැඩකාරි එක්ක යාළුයි කියල විහිලු කරනවා. නිසා තමයි මම මේක ලිව්වේ කියලා.
ඊට පස්සේ ඇහුවා සර්ලගෙ ගෙදර මුකුත් ප්‍රශ්න තියෙනවද එහෙම කියලා. ඉතින් මම කිව්වා එක දවසක් උදේ සර් රෝහිණීව බදාගෙන ඉන්නවා දැකපු බවත්. එයා ගැන විස්තරත් බොහොම හොඳින් අහගත්තා. පස්සේ මම කිව්වා මට එහේ ඉන්න බැහැ, මේ පාර නිවාඩුවෙන් පස්සේ මම අලුත් බෝඩිමක් හොයාගෙන යනවා කියලා.

මම රෝහිණීගෙයි සර්ගෙයි සිද්ධිය කිව්වට පස්සේ ටික වෙලාවකින් මට පන්තියට යන්න කියලා ඒ සර් කිව්වා.
පස්සේ ප්‍රින්සිපල් ගැන කියපු කතාව ගැන හොයන්න චරිත්වත් එතනට එක්කරගෙන ගියාද කියල මම දන්නේ නැහැ. මොකද මම හිටියේ හොඳටම බයවෙලා.



කොහොමහරි එදායින් පස්සේ අක්කලාගේ ගෙදරින් මට තිබ්බ සැළකිලි ගොඩක් අඩුවෙලා ගියා. ඉස්සර ගෙදර වැඩකාරි රෝහිණී මට කිව්වේ "xxx බබා" කියලා, ඒත් මේ කාලේ වෙද්දී අක්ක කතා කරනවා වගේම එයත් මට "xxx"  කියල නම විතරක් කියල කතා කරන්න පටන් අරගෙන තිබුනේ.
ටිකක් හරි හොඳින් මට  ආදරෙන් සැළකුවේ අර ඇස්දෙක පේන්නේ නැති ඇන්ටි විතරයි.



මගේම වෙලාවට වගේ ඒ සතියෙම දෙසැම්බර් ඉස්කෝල නිවාඩුව ලැබිලා මම ගෙදර ගියා. ගෙදර ගියා විතරයි එහේ තව යුද්ධයක්.

එදා සුදු අක්කල මාව බලන්න ආපු ගමන් තකහනියේ එහෙං පිටවෙලා ගියපු හේතුව මම දැනගත්තේ එදා. සුදු අක්කල එක්ක පුටු සැටියේ වාඩිවෙලා හිටපු අක්ක එයාල ඉස්සරහත් කිසි ලජ්ජා බයක් නැතුව ඔක්කොම එළියපේන විදිහටලු වාඩිවෙලා හිටියේ. එයා ගෙදර ආපු ගමන් මේක අම්මට වාර්තා කරලා.
මම ගෙදර ගියා විතරයි අම්මයි, අක්කලයි මාව වටකරගෙන ගෙදර ගැන විස්තර ඇහුවා. අක්ක හැමදාම ඉන්නේ ඔහොමද කියලත් ඇහුවා. මමත් ඉතින් විස්තර ඔක්කොම ටික කිව්වා. රෝහිණීයි සර්රුයි එදා බදාගෙන හිටපු හැටිත් කිව්වා. ඒවා ඇහුවට පස්සේ අම්ම ඔලුවේ අතගහ ගත්තා. අක්කලනම් මාව නෝන්ඩි කරන්න තියා ගත්තා. මෙයා ඒක තමයි බොහොම ආසාවෙන් එහෙට වෙලා හිටියේ කියකියා.
නිවාඩුවෙන් පස්සෙනම් මාව එහේ නතර කරලා බැහැ කියල තමයි අම්මල කිව්වේ.



කොහොමහරි නිවාඩුවෙන් පස්සේ අලුත් බෝඩිමක් හොයා ගන්නකල් තව ටික දවසක් සර්ලගෙ ගෙදර ඉන්න වෙනවා කියල තමයි අම්ම කිව්වේ.

අන්තිමට 1992 ජනවාරි මාසේ ආපහු ඒ කාලකන්ණි ගෙදරට මට යන්න උනා. මම එදා ගියේ අම්ම එක්ක. අපි එහේ යන්න කලින් කැලණිය කැම්පස් එක කිට්ටුව බෝඩිමක් බලන්නත් ගියා. එතන අපේ ලොකු මාම ඉස්සර  කැම්පස් යද්දී දන්නා කියන තැනක්ලු. එතන නිකන් ගුබ්බෑයමක් වගේ තැනක්. එතන මට හරියන්නේ නැහැ කියල අම්මා කිව්වා. අන්තිමට නතරවෙන්න හරියකට තැනක් හොයා ගන්නත්  බැරිඋනා. ඉතින් මමයි අම්මයි ආපහු සර්ලගෙ ගෙදරට ගියා.


එහෙට ගියාම සර් නිකන් නක්කලේට වගේ අපේ අම්මට කිව්වා xxx කිව්වනේ මෙහෙන් යනවා කියලා, ඒ නිසා මම තව ළමයි දෙන්නෙක්ව නවත්ත ගත්තා කියලා.
පස්සේ බලද්දී සර් තව ගෑනු ලමයෙකුයි පිරිමි ළමයෙකුයිත් එහේ නතර කරගෙන. ඒ අයියා අපේ ඉස්කොලෙමයි. ඒ අයියයි අක්කයි සහෝදරයෝ, දැන් ඒ දෙන්න නතරවෙලා ඉන්නේ මම කලින් හිටපු කාමරේ.

දැන් මට ඉන්න හරියකට තැනකුත් නැහැ, අපි ඉක්මනටම අලුත් තැනක් හොයා ගන්නම්, එතකල් මෙයාට මෙහේ ඉන්න දෙන්න කියලා අම්ම සර්ට කිව්වා. එදා අම්මගේ මුණේ තිබ්බ දුක මම හොඳටම දැක්කා. අන්තිමට මට එදා මගේ බඩුමුට්ටු ටිකත් අරගෙන අංකල්ගේ කන්තෝරු කාමරේට යන්න සිද්ධ උනා. ඒකේ බිම තමයි මට නිදාගන්න උනෙත්. හරියටම සතියක් මම කන්තෝරු කාමරේ තමයි නිදා ගත්තේ.


මට නතර වෙන්න අලුත් තැනක් හොයා ගන්න මගේ අම්මලට පුළුවන් උනෙත් නැහැ. අන්තිමට මාව ඒ ඉස්කෝලෙන් අස් කරගෙන යන්න අම්මල තීරණය කළා.
ඒ ඉස්කෝලෙන් අස්වෙන දවසේ එක එක දේවල්වලට ආධාර විදිහටයි, මොකක්දෝ මන්ද මැච් එකකටයි කියල ලොකු ගාණක් මගේ දුප්පත් අම්මලාගෙන් කඩා ගන්නත් ඒ හිඟන ඉස්කෝලේ පරිපාලනෙන් කටයුතු කරලා තිබුණා. අම්ම ඇස්දෙකේ කඳුළු පොරෝගෙන අතේ තිබ්බ ඔක්කොම වගේ සල්ලි ටික ඒවාට ගෙවලා බොහොම අමාරුවෙන් මාව ඉස්කෝලෙන් අස්කර ගත්තා.
ඒ වෙද්දී අපේ අලුත් පන්තිබාර ටීචර් අම්මගෙන් අහල තිබුණා ඇයි මාව ඉස්කෝලෙන් අස්කරන්නේ කියලා. ඉතින් අම්ම වෙච්ච ඔක්කොම දේවල් ඒ මිස්ටත් කියල තිබුණා.
ඊට පස්සේ මමයි අම්මයි දෙන්න එක්ක ඉසුරුපායේ ගොඩ වෙලාවක් රස්තියාදු උනා මට යන්න ඉස්කෝලයක් හොයා ගන්න.  අන්තිමට කිසිම විසඳුමක් නැතුවම මම අම්ම එක්ක ගෙදර ආව, ඒත් මට යන්න ඉස්කෝලයක් ලැබිල තිබුනේ නැහැ ඒ වෙද්දීත්.


අම්ම මාත් එක්ක කියල තියෙනවා "අනිත් දරුවෝ වගේ නෙමෙයි ඔයා ඉපදුනු වෙලාවෙ මට කිසිම වේදනාවක් දැනුනේ නැහැ" කියලා.
සමහර විට අපේ පවුලට ලැබුණු පළවෙනි පිරිමි දරුවා නිසා ඇති වෙච්ච සතුටටද දන්නෙත් නැහැ.
ඉස්පිරිතාලේ ගිහිං නතර වෙච්ච හැටියේම වගේ මාව හම්බ උනාලු. ඊට පස්සේ පහුවෙනිදා ටිකට් කපාගෙන ගෙදර ආවලු. ඒ දවසෙවත් මම නිසා කිසිම වේදනාවක් වින්දේ නැහැ කියල කියපු අම්ම මේ දවස්ටිකේ මම නිසා පුදුම දුකක් වින්දබව මට මේ වෙනකොට තේරිලා තිබුනේ.

Thursday, 5 January 2012

පාසල් විත්ති 07 - මෝහිණී සහ මගේ මුල්ම කවකට්ට

මම නැති අතරේ මගේ කරත්තේ නැති නාස්ති කොරල දාල තිබුනා අපේ මලයා. එයාට අක්කල කියන්නේ පොඩි මල්ලි නිසා මමත් එයාට කියන්නේ පොඩි මල්ලි කියලයි. අන්තිමට අපි දෙන්න පුරුදු විදිහට සෙල්ලම් කරන්න පටන් ගත්තා. බට තුවක්කුද, සෙල්ලම් කරත්තද, ඒ අස්සේ ගෙදර වැඩයි මේ හැම එකක්ම අතරේ කොහොමින් කොහොම හරි මේ නිවාඩුවත් බොහෝම නරක විදිහට ඉක්මනටම ගෙවිල ගියා. නිවාඩුව ඉවර වෙලා ආපහු බෝඩිමට යන දවස තමයි මේ ලෝකේ තියෙන එපාම කරපු දවස.
ඇයි අපිට ඉස්කෝලේ නොයා ඉන්න බැරි කියල හිතිච්ච දවසුත් තිබුනා හරියට. ආපහු ඉතින් බර වෙච්ච හිතත් අරගෙන අක්කලාගේ බෝඩිමට ගියා නිවාඩුවෙන් පස්සේ. කරුම බෝඩින් ජිවිතේ.


මම ශිෂ්‍යත්වේ පාස් වුනාට පස්සේ අම්මල කවකටු පෙට්ටියකුයි තීන්ත පෑනකුයි අරගෙන දුන්නා. ඒ ඇරෙන්න මට වෙන කාගෙන්වත් කිසිම දෙයක් ලැබුනේ නැහැ. ඊට පස්සේ මම ලබපු ජයග්‍රහණ වලට කියලත් කිසිම දෙයක් මට ලැබිල නැහැ පිට අයගෙන්. හැබැයි අම්මගේ මුණේඋතුරන ආදරේත්, තාත්තගේ මුණේ උතුරපු සතුටත්  මට නොඅඩුව ලැබිල තියෙනවා.


මම මේ කියන දවස්වල (1991) තීන්ත පෑනක් කියන්නෙත් අපිට මහමෙරක් වගේ වටින වස්තුවක්. මගේ මේ වටිනා කියන වස්තුන් ටික මම නිවාඩුවට ගෙදර එද්දී ගෙදර අරගෙන එන්නේ නැහැ, මට දීල තිබුන මේස ලාච්චුවේ දාල වහල තියල තමයි මම ගෙදර එන්නේ. මොනවා හරි ඉස්කෝලේ වැඩක් කරන්න දීල තියෙනවනම් ඒ පොත් ටික විතරක් මම අරගෙන එනවා. ඒ ඉස්කෝලෙ මිස්ලා නිවාඩු කාලේදී ගෙදරදී කරගෙන එන්න කියල ගොඩක් වැඩ දුන්නේ නැහැ. ඒ අතින්නම් මාර හොඳයි.


වෙනද වගේම තාත්ත මාවයි, චුටි අක්කවයි එක්කගෙන කොළඹ ආව. මුලින්ම අපි චුටි අක්කගේ හොස්ටල් එකට ගිහිං එයාව එහෙට ඇරලවලා ආව. ඊට පස්සේ මම. බෝඩිමට ගිහිං මාව ඇරලවපු තාත්ත ආ පයින්ම වගේ ආපහු යන්න ගියා. තාත්ත ගියාට පස්සේ මම කාමරේට ගිහිං ඇඳුම් එහෙම මාරු කරගෙන මුණකට හෝදගෙනම ආවා. අක්කත් මගෙන් ගෙදර විස්තර එහෙමත් ඇහුවා. දවස සාමාන්‍යය විදිහට ගෙවී යමින් තිබුනේ. ඒත් මම අහම්බෙන් වගේ ලාච්චුව ඇරලා බැලුවා. කවකටු පෙට්ටිය තියෙනවා. ආආආ‍.. කෝ මේ කවකටුවේ තුඩ, ඒ මදිවට ඒක උණුවෙලා ගිහිං, කළු ගැහිලත් එක්ක. මට හරි දුක හිතුනා ඒකට වෙලා තිබ්බ විනාසේ දැක්කහම.
මම ගිහිං අක්කාගෙන් ඇහුවා මේකට ඔයගොල්ලෝ මොනවහරි කලාද කියලා. එතකොට අක්ක  කිව්වා "බලන්නකෝ xxx... සර් ඕක ගෑස් ලිපට අල්ලලා රත්කරලා මොකක්ද මන්ද ප්ලාස්ටික් භාජනයක් හිල් කරන්න හැදුවා, රස්නේ වැඩි කමට වෙන්න ඇති, උනුවෙලා ගියා" කියලා.


ඔයාට මොනවහරි වැඩක් කරන්න තියෙනවනම් අංකල්ගේ කන්තෝරු කාමරේ තියෙන ලාච්චුවේ තියෙන කවකටුව අර ගන්න කියලා. අංකල් ඉස්සර වැඩ කරලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට. එයා තාමත් සමහර වෙලාවට ලොකු කඩදාසි කොළ මෙසේ උඩ එලාගෙන ඒ වගේ වැඩ කරනවා මම දැකල තියෙනවා. ඒත් ඉතින් එයා ගාව තියෙන ලොකු කවකට්ටෙන් මට වැඩක් නැතිබව එයාලට තේරෙන්නේ නැද්ද. අනික මට තියාගන්න දෙන්නෙත් නැහැනේ. මගේ කවකටුව කැඩුවට වෙනුවෙන් අලුත් එකක් අරගෙන දෙන්න එයාල උනන්දු උනේ නැහැ, මටත් අලුත් එකක් ඉල්ලන්න පුළුවන් කමක් තිබුනෙත් නැහැ. අන්තිමට උනේ මට තෑගී ලැබුණු කවකටුව නැති වෙච්ච එක විතරයි.

සමහර දවස් වලට මමයි රෝහිණීයි නින්ද යනකල් ගෙවල් වල විස්තර කතා කරනවා. කතා කරනවා කිව්වට, රෝහිණි මගෙන් අහනවා අපේ ගෙදර විස්තර. මම ඒවාට උත්තර දෙනවා. මට කලින් රෝහිණි නිදා ගන්න දවසුත් තියෙනවා. මම සමහර දවස්වලට ඉස්කෝලේ වැඩ මොනවහරි කරකර ඉඳලා පරක්කු වෙලා නිදා ගන්නවා.
එක දවසක් රෝහිණි කලින්ම නිදා ගත්තා, මමත් පාඩම් වැඩ වගයක් කරලා නිදා ගන්න ගියාට රස්නේ වැඩි කමට හරියකට නින්ද යන්නේ නැහැ.
කොහොමටත් මේ කාලේ වෙද්දී එහේ ගෙදර හරි රස්නෙයි,
මෙහෙම අමාරුවෙන් නිදා ගත්තු මට කොරේ පිටට මරේ කියන්නැහේ මහ රෑ ඇහැරුනා චූ බරක් හැදිලා. මම ඉතින් නැගිටලා චූ දාන්න යන්න කාමරේ ලයිට් එක දැම්මා. දොරට කිට්ටුවම තියෙන බුරු ඇඳේ නිදාගෙන හිටපු රෝහිණීදැකපු ගමන් මගේ චූ බරත් කොහෙන් ගියාද කියල නැති උනා. මහ රෑ 12 ට මෝහිණීදකින මනුස්සයෙක් බයවෙන තරමට මම බය උනාද කොහෙද. බෝඩිමේ අක්ක එදා බාගෙට හරි වහගෙන හිටපු ටික රෝහිණී එළියට දාගෙන නිදි. මේ පාරනම් මාව හොඳටම බය උනා,
ඊඊඊඊඊ...... ඇයි මේ @#&$^@*.....!!


ඉක්මනට සිහි එළවාගත්තු මම කාමරෙන් එළියට ගියේ කිසි සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න. හැබැයි මම එළියට ගියේ කාමරේ ලයිට් එක දාල. නැත්නම් මට ආපහු එන්න පාර පේන්නේ නැහැනේ. මම ගිහිං  චූ දාල ආවට පස්සෙත් එයා එහෙම්මමයි. එහේ  ගේ ඇතුළෙම නාන කාමරයක් තිබුණු නිසා හොඳයි. නැත්නම් කලිසමේම චූ යනවා මට.

ඊට පස්සේ  ලයිට් එක නිවල දාල මම නිදා ගන්න ගියා, ඒත් නින්ද මගේ ගාවට එන්න ටික වෙලාවක් නෙමෙයි ගොඩ වෙලාවක්ම ගියා. ඇයි ඉතින් මෙච්චර පොඩි වයසකදී දකින්න ඕනේ දෙයක්ද දැක්කේ.
!@~$#$ #*  ^$ *^, >?:*&)-(