Thursday, 26 March 2015

රහතන්ගල වෙහෙරගල චාරිකාව - වෙහෙරගල බලා... Weheragala

මෙන්න දෙවෙනි කොටස...  බැලුවේ නැත්නම් බලලම එන්ඩලා...

පහුවෙනිදා උදෙන් ඇහැරෙද්දි උදේ 06:00 වෙන්න ඇති ඕනෙනම්. කට්ටිය ලකලැස්ති වෙලා ඇවිත් පාතරාසයට වග කිව්වේ කැම්පස් එකේ කැන්ටිමෙන්. කාල ඉවරවෙලා බඩු මුට්ටු ටිකත් පොදි බැඳගෙන බස් එකට දාගෙන පිටත් වෙද්දී වෙලාව උදේ 08:00 විතර උනා. අපේ සත්කාරකයෙක් වෙච්චි චමිතත් අපි එක්ක වෙහෙරගල යන්න එක්කාසු උනා.
බුත්තලින් පිටත් වීමට පෙර...


අපේ කොට්ස් හොඳ ගිටාර් වාදකයා, ඌ එන ගමන් ගිටාර් කොටේකුත් අරගෙන ඇවිත් තිබ්බා. මුලින්ම අපි එද්දී ඒකෙන් පොඩි වැඩක් අරගත්තට රහතන්ගල නැගපු දවසේ ඒවයෙන් වැඩක් උනේ නැහැ. ඔන්න දැන් වෙලාව හරි. වෙහෙරගල යන්න ටිකක් දුර යන්න වෙනවා. ඒ වගේම දැන් අපි ඉන්නෙත් හොඳට කාල බඩකට පුරෝගෙන. ඒ වගේම හොඳට සිංදු කියන්නත් පුළුවන් වෙලාවක. බුත්තල කැම්පස් එකෙන් එළියට ආපු වෙලාවේ ඉඳලම සින්දු පටන් ගත්තා. සින්දු කියකිය ගියා කියල නැහැ වටපිට බලන්නත් අමතක කලේ නැහැ. වෙහෙරගලට යන්න කිලෝමීටර 35 ක් විතර තිබුනා කැම්පස් එකේ ඉඳල.
අපි මෙහෙම යන අතරමගදී කැහැටු අලි හිඟන්නෙකුත් දැක්කා. ඒ කොයි හරියෙදිද කියල ටක්කෙටම මතක නැතත් පාර අයිනේ තිබ්බ විදුලි වැටක් අයිනට වෙලා තමයි ඒකා උන්නේ. ඉටි කොළයක් එලාගෙන, හිස් ටින් එකක් ළඟ තියාගෙන නොහිටියට ඌ හිටියේ හිඟා කන්න. මටනම් එවුන්ව දැක්කම මළ පනිනවා. ඒ ඌත් එක්ක නෙමෙයි, උන්ට කෑම දීල ඒ වැඩේට හුරු කරන මිනිස්සුත් එක්ක. මිනිස්සුන්ගේ තියෙන මෝඩ කමට උන්ට කෑම බීම දෙන නිසා උන් උදේ පාන්දර වෙද්දීම වැට අයිනට එනවා මොනවහරි හිඟා කන්න බලාගෙන. ඒකෙන් වෙන්නේ උන්ගේ සාමාන්‍ය අලි ජිවිතයට ලොකු බලපෑමක් එල්ල වෙන එක. මේ විදිහට වැඩිම හිඟන අලි ඉන්නේ උඩවලවේ. අපි අමතක නොකළයුතු වැදගත්ම කාරණය තමයි ඒ කැලේ ඉන්න වල් අලි බව, අළුත් විදිහ අනුවනම් වන අලි. මටනම් ඒ අළුත් හුච්ච්ක්කුව දිරවන්නේ නැහැ.
ඉඳිකොළ වැව...
මෙතනින් පස්සේ අපි යාල බ්ලොක් පහේ තියෙන ගේට්ටුවක් වගේ තැනකින් කැලේ ඇතුළට ඇතුල් උනා. පොඩ්ඩක් දුරට ආවට පස්සේ ලස්සන පොඩි වැවක් ගාව නතර වෙන්න තීරණය කලා. වනෝද්‍යානයක් ඇතුලේ වාහනේකින් බහින එක තහනම් සහ නොකළ යුතු දෙයක් උනත් අපි ඒ වැව ගාව බැස්සා. යන එන පාර අයිනෙම තිබ්බ නිසාත් ඒ වෙද්දී වෙහෙරගල ව්‍යාපෘතියට අදාළ රථ වාහන ගමනාගමනයක් සිදුවන නිසාත් ඒ තරම් ගැටළුවක් නොමැති බවක් තමයි අපි හිතුවේ.

මේ වැවේ නම ඉඳිකොළ වැව. ඒ වැවේ නම පළවෙනි වතාවට මම ඇහුවේ එදා. ඒ කියන්නේ 2006-04-30 වෙනිදා. අදටත් මට ඒ නම හොඳට මතකයේ රැඳිලා තියෙන්නේ ඒ අවට තිබ්බ සුන්දරත්වය නිසා වෙන්න ඇති. එතැනදී අපි සමනල්ලු කීප දෙනෙක්, කුරුළු වර්ග කිහිපයක් සහ ඇදගෙන වැටිලා තිබ්බ ගහක හැදිලා තියෙන ලස්සන කැලෑ ඕකිඩ් මල් පොකුරකුත් දැක ගත්තා. එතැන ටික වෙලාවක් ගත කරපු අපි බස් එකේ නැගල වෙහෙරගල දිහට යන්න පිටත් උනා. මේ වෙහෙරගල ප්‍රොජෙක්ට් එක බලන්න යන ගමන සෙට් උනේ මෙන්න මේ විදිහට. අපේ පහල බැච් එකේ උන්නු කුරූ ට්‍රේනින් උන්නේ ඒ ප්‍රොජෙක්ට් එකේ. උගේ අනුග්‍රහයෙන් තමයි අපි ඒ ගමන ගියේ. ඌ ට්‍රේනින් යන්න කලියෙන් මස් මාළු කිසි දෙයක් කාපු එකෙක් එහෙම නෙමේ. ඒත් ප්‍රොජෙක්ට් වල ජිවිතේ අනුව එහෙම ජීවත් වෙන්න බැරි නිසා අපි එහෙ යන කාලේ වෙද්දී ගේ නිර්මාංශ ජීවිතේට සමු දීලා හිටියේ.
අපි ප්‍රොජෙක්ට් එක කෙරෙන තැනට යද්දී එතන එක විකාරයයි. කැලේ මැද්දේ මහ විශාල ප්‍රදේශයක් එළිපෙහෙළි කරලා ගස් කපල දාල, පත ගැඹුරු කාණුවක් වගේ එකක් කපල, සමහර තැන්වල කොන්ක්‍රීට් දාල. හෝ ගාල වැඩ. පොඩ්ඩක් ඒ දිහා බැලුවට පස්සේ මටනම්  ඒ බැලිල්ල ඇති උනා.










වෙහෙරගල ප්‍රොජෙක්ට් එක හදන්නේ ලුණුගම්වෙහෙර ජලාශයේ ජල හිඟයට විසඳුමක් විදිහට කියන එකත් අපිට දැනගන්න ලැබුනා. මෙතැනදී ඇත්තටම අපිට පරිසරය සම්බන්ධ දේවල් වලට වඩා වැඩිපුර බලාගන්න ඕනෙකම තිබ්බේ ඒ මහා ව්‍යාපෘතියේ වැඩ කෙරෙන විදිහ. සයිට් එකේ වැඩිපුර වැඩ කරපු ගස් කොළන් කපපු තැන් වල තිබ්බේ පුදුම අව් රස්නයක්. සයිට් එකේ අයිනකට වෙන්න තිබ්බ මැණික් ගඟ අවට පරිසරය හරි සුන්දරයි. ගඟ ගාව නතර කරලා තිබ්බ බැරල් වලින් හදල තිබ්බ පොඩි පාරුව වගේ එකේ නැගල එහා මෙහාටත් ගියා. එතන තිබ්බ සිසිලත් එක්ක අපේ උන් එතනට වෙලා පොඩි විවේකයක් ගන්න අමතක කලෙත් නැහැ.
මැණික් ගං දෑල...


බැරල් පහුර...

විවේකයෙන්...
වෙලාව දවල් එක එකහමාර වගේ වෙද්දී කට්ටියට හොඳ ගණන්. මේ ප්‍රොජෙක්ට් එක කලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්. ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන සැළකිය යුතු වැඩ කොටසක් සිදුකරලා තිබුණත් හරි හැටි පහසුකමක් තියෙන ඔෆිස් ගොඩනැගිල්ලක් එහෙම තිබුනෙත් නැහැ. යන්තම් අටව ගත්තු පොඩි ඔපිසියකුයි, ස්ටෝරුවක් වගේ තිබ්බ තැනකුයි නම් තිබුනා. අපි එතනට යද්දී අපි වෙනුවෙන් බත් පාර්සල් වගයක් පොඩි මේස කෑල්ලක් උඩ බලාගෙන ඉන්නවා. ඉඩ තිබ්බ විදිහට තැන්තැන් වල වාඩිවෙලා බත් පාර්සල් ටික දිග ඇරගත්තා. ඒ බත් පාර්සල් ගෙනාවේ කඩේකින්ද කොහෙන්ද කින්ද මන්ද කියල මට මතක නැහැ. මතක තියෙන එකම දේ බත් එක මෙලෝ රහක් නැහැ කියන එක විතරයි.

කුරූ ලාගේ ඔෆිසියක්... අපි බත් කෑවේ මෙතනදීය
මෙතන තවත් ටික වෙලාවක් ගත කරපු අපි වෙහෙරගලින් සමු ගත්තා. එතනින් පස්සේ කතරගම ටවුන් එකෙත් ටික වෙලාවක් ඉඳලා කොළඹ බලා පිටත් උනා.
මේ ගමනින් පටන් ගත්තු කුරුල්ලෝ පස්සේ එළවිල්ල උණක් මට්ටමට වැඩි දියුණු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒක හොඳටම උග්‍ර උනේ අපේ කැම්පස් එකේ WUS එකෙන් හැම අවුරුද්දෙම සංවිධානය කරන “සිංහරාජ වැඩමුළුවට” සහභාගී උනාට පස්සේ.  දවස් හයක් සිංහරාජේ ඉඳලා කරපු එක එක අධ්‍යයන කටයුතු, නිරීක්ෂණ සෑහෙන වැදගත් උනා. රාජකාරි කටයුතු වලදී පවා පරිසරය වෙනුවෙන් හැකි අයුරින් පෙනී ඉන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවේ එතනින් පස්සේ. ඒ වැඩමුළුවේ හොඳම රිපෝට් එක උනේ මම ලියපු රිපෝට් එක.

ඊට පස්සේ වතාවේ අපි ගියේ බුන්දල. ඒ ගමන ගියේ දහ දෙනයි. ඒ කතාව වෙනම කියන්නම්කෝ. බුන්දල යද්දිනම් මම අපේ ලොකු මස්සිනාගේ කැඩිච්ච කැමරා එකක් ආපහු හදාගෙන අරගෙන ගියා. ඒත් ගමනේ බාගයක් යද්දී ඒ කැමරාව ආපහු කැඩුනා. කුරුල්ලෝ ලක්ෂ ගාණක් හිටපු බුන්දල කලපුවේ ෆොටෝ ගහගන්න බැරි වෙච්ච එක ගැන මට අදටත් දුකයි. ඊට පස්සේ කවදාවත් බුන්දල කලපුවේ ඒ තරම් කුරුල්ලෝ හිටියේ නැහැ.
අර කැමරාව ආපහු හදා ගත්තට ආයෙත් වතාවක් කැඩුනා. ඊටත් පස්සේ තමයි Digital SLR කැමරා එකක් ගන්න ඕනේ කියන අදහස ඔළුවට ඇවිත් හැකි ඉක්මණින් ඒක ක්‍රියාත්මක කලේ.

කුරූ ට්‍රේනින් ඉවරවෙලා රස්සාව කලෙත් එතන.වෙහෙරගල වැව හදල ඉවර උනාට පස්සෙ කීප වතාවක්ම මම එහේ ගියා. දවස් ගණන් වාරිමාර්ග එකේ කුරූ ල වැඩ කරපු තැන (නිදා ගන්නේ උයාගෙන කන්නේ බොන්නෙත් එතනම තමයි) නතරවෙලා ඒ අවට තිබ්බ සුන්දරත්වය හැකි උපරිමයෙන් කැමරා එකේ සටහන් කර ගත්තා. වෙහෙරගල වැව යාල බ්ලොක් 5 සහ ලුණුගම්වෙහෙර කියන වනෝද්‍යාන දෙකටම අයත්. කළින් ප්‍රොජෙක්ට් එක කරද්දී තිබ්බ ආලපාළු ගතිය වගේ නෙමෙයි, දැන් එතන හරි සුන්දරයි. මිනිස්සුන්ට සල්ලි ගෙවල නතරවෙන්න පුළුවන් බංගලාවකුත් වැව් ඉස්මත්තේ හදල තියෙනවා වනජීවී එකෙන්.
මෙන්න මේ කොල පාට ගොඩනැගිල්ල තමයි කුරූ ගේ පසු කාලින ඔෆිසිය, කුස්සිය සහ නවාතැන උනේ...
මම ගිහින් ලගා ගහන්නේ ඔකේ උඩ තට්ටුවේ...
එහා පැත්තේ කන්ද උඩින් පේන්නේ වනජීවී එකේ බංගලාව
වෙහෙරගල ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරපු මුදලෙන් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් අවසානයේදී ඉතුරුවෙලා තිබුනා. එහෙම සල්ලි ඉතුරු වෙච්චි එක ව්‍යාපෘතිය භාරව කටයුතු කරපු ඉංජිනේරු මහත්තයට ලොකු ගැටළුවක් උනා. එහෙම වෙන්න හේතු කියල නිදහසට කරුණු කියන්නත් සිද්ධ උනා. එතැනදී එහෙම ප්‍රශ්ණ නගපු එක සාධාරණ නැහැ කියල ගොඩ දෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඔවුන් නියමිත තත්ත්වය පවත්වා ගන්නේ නැතිව එම ඉදිකිරිම සිදු කලාද යන්න සොයා බලන්නත් එක්ක තමයි ඒ පරීක්ෂණ කටයුතු සිදු කරලා තිබුනේ. සමහර විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ යටි අරමුණ වෙන්න ඇත්තේ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඒවා වැඩක් නෑ...
ඔවුන් එසේ මුදල් ඉතිරි කරගෙන තිබුනේ හරි සරළ ක්‍රමේකට. පස් කපන යන්ත්‍ර සහ පස් අදින ටිපර් වලින් සිදුකරන ප්‍රකට වංචාවක් සිදුකිරීමේ මග ඔවුන් විසින් අහුරලා දමල තිබුනා. මේ ප්‍රොජෙක්ට් එක තිබුනේ කැලේ මැද්දේ නිසා සේවක මහත්වරුන් වටපිටාවේ මිනිස්සු එක්ක එක්කාසු වෙලා කරන හොරකං ටිකත් ඉබේම නතර වෙනවා. වාහන එළියට ගෙනියන්න අපහසු නිසා ඩීසල් හොරකමත් සිද්ධ වෙන්නේ අඩුවෙන්. ඒ සියල්ල ඔවුන්ට වාසියක් උනා.
මේ තියෙන්නේ අළුත්වැඩියා කරමින් පැවතුනු චෛත්‍යයක්...
පස්සේ තීරණය උනේ ඒ ඉතුරු මුදල් වලින් වෙහෙරගල අවට කැලේ තියෙන ගරා වැටුණු එහෙමත් නැත්නම් නිධන් හොරුන් විසින් විනාශ කරපු පැරණි චෛත්‍යය අළුත්වැඩියා කරන්න යොදවන්න කියලා.  මම පස්සේ කාලෙක ගියාම එහෙම තැනකටත් යන්න හැකියාව ලැබුනා.
මේ තියෙන්නේ වෙහෙරගල දැන් පෙනුම. මම ගියපු දවසේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල ගියපු නිසා වාන් දොරටු විවෘත කිරීම අරඹමින්...
ඒකෙ පුදුම වෙන්න දේකුත් නැහැ, මම සෞදියට ගොඩ බැහැපු දවසෙත් වැස්ස එකේ.
ජලාශය...
පළමු වතාවට වාන් දොරටු හයෙන් පහක්ම විවෘත කල වෙහෙරගල...

මේ එදා අපේ උන් මැණික් ගඟේ තිබ්බ බැරල් පහුරේ නැගලා එහා මෙහා ගියපු තැනට ආසන්න තැනක්...

මෙතනින් පහළ තියෙන්නේ වෙහෙරගල ආසන්නයේ සහ ලුණුගම්වෙහෙර දී මම ගත්තු ජායාරුප...









රහතන්ගල හරහා වෙහෙරගල ආපු ගමන එතනින් අවසන්... එදා පටන් ගත්තු ගමන ඉදිරියට ගලාගෙන ගිය හැටි සැරින් සැරේ ලියන්නම්.
මේ වතාවේ ෆොටෝ වැඩියි කියල බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ... හෙහ්

Friday, 20 March 2015

රහතන්ගල වෙහෙරගල චාරිකාව - යුදඟනාව වැව් සිසිලේ...

පළවෙනි කොටස බැලුවේ නැත්නම් බලලම එන්ඩෝ...

රහතන්ගල පාමුල විහාරය
මහ විශාල වැවක් නොවුන යුදඟනාව වැව අවට පරිසරය හරිම සුන්දරයි. වටපිටාවේ ගෙවල් දොරවල් පේන්න තිබුනෙත් නැහැ. මිනිස්සු කවුරුවත් හිටියෙත් නැහැ. පුදුම නිස්කලංක තැනක්. සරු කුඹුරු යායක් වැව පහළින් තිබුනා. ඊටත් එපිටින් ගොඩ ඉඩමක පොල් ගස්, කිතුල් ගස් සහ වෙනත් ගොඩ හැදෙන ගස් වලින් පිරිච්ච රුප්පාවක්. වැව් බැම්ම දිගේ ඇවිදලා නියරවල් දිගේ හතර අතේ ඇවිදලා වටපිටාවේ සිරි නරඹලා එහෙම තමයි අපි වැවට බහින්න කප්පනා කලේ.
යුදඟනාව වැව බලා යමින්...

සුන්දර වෙල් යාය...



වැවට යමින්...


වැවට බැහැපු ගමන් පෙරා අත් දෙකෙන් මාළු අල්ලන්න හදනවා. මොන මාළුද. අඩු ගානේ බාල්දියක්වත් තිබ්බනම් දණ්ඩි පැටියෙක්වත් අල්ල ගන්න තිබ්බා. මාළු කිව්වම මතක් උනේ, ඉස්සර මගේ පර්ස් එකේ බිළී කොක්කකුයි තංගුස් පොටකුයි වරදින්නේ නැහැ. කෝටු කෑල්ලක්නම් ඉතිං ඕනේ ඇහැකින් හොයා ගන්න පුළුවන්නේ.

කැම්පස් ඉන්න කාලෙත් ඒක එහෙමමයි. දවසක් බෝට් යාඩ් එකේ පැය ගාණක් බිළී කොක්ක දාගෙන හිටියත් කිසිම වගතුවක් උනේ නැහැ. බලා ඉන්න බැරි තැන වස්සා දැඩි තීරණයක් අර ගත්තා. ඌ ගිහින් උන්ගේ බෝඩිමේ එදා හිටපු නැති තනියගේ මදුරු දැල ගලවගෙන ආවේ ඒකෙන්වත් මොනාහරි කරන්ට ඇහැක්ද බලන්න. තනිය කියන්නේ තනි අලියා වගේ සයිස් එකෙක්. ඌට මදුරුවෝ කෑවට දැනෙන්නේ නැති නිසාද කොහෙද නෙට් එක ගලවල තිබිල තියෙන්නේ. එදා ඉණ ගාවට බොල්ගොඩ ගඟේ මඩේ එරීගෙන මාළු ටිකකුයි ඉස්සෝ කීප දෙනෙකුයි අල්ලගෙන බාල්දියකට වතුර පුරවලා අරගෙන එද්දී වෙලාව මළ පාන්දර එකට විතර ඇති. අපි උන්ව අරගෙන ආවට කන්න හිතකුත් නැහැ. වස්සලගේ බෝඩිමට ගිහිං මාළු ටික බලද්දී උන් ටික සෙත්ත පෝච්චි වෙලා ඉවරයි. බාල්දියේ මාළු ඝණත්වය වැඩිවෙලා තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ කියල අපේ ටිකිරි මොළ වලට වැටහුනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, ඉතුරු වැඩේට දැලක් හොයාගන්න එක තමයි කරන්න ඕනේ. ඒකත් කැම්පස් එකේ අයිනකින් හොයා ගත්තා. වටපිටාවෙන් දර කෑලි ටිකක්, පොල් අතු ටිකක් හොයාගෙන පුච්චපු මාළු ඒ කියන්නේ බාබකිව් වගේ එකක් හදාගෙන කාල බුදිය ගත්තා.
මේ ෆොටෝ එකේ පේන්න තියෙන ගල් දුපතට තමා අපි පීනුවේ...


අපි කීප දෙනෙක් වැව මැද්දේ තිබ්බ දුපතක් වගේ තිබ්බ මහ ගල් තලාවට පීනලා ගියා. එතන කෑම්ප් එකක් ගහන්න කියාපු තැන. කවුරුහරි එතන කෑම්ප් ගහපු බවක සටහන් ඉතිරි කරලා ගොහිල්ලත් තිබුනා. අපි එක්ක ඒ දුපතට පීනලා ගියේ එකම එක ගෑල් ළමයෙක් විතරයි. ඒ තමයි “ආන්ටි සූ”. පොළොන්නරුව පැත්තේ වැව් වල පීනලා පුරුදු ඒකි වගේ නෙමෙයි ඒකිගේ මනුස්පයා වෙච්ච ගෙම්බට (පෙරා) ඒකි එක්ක හැරෙන්නවත් බැහැ. ඌට පීනන්නම බැරිද කොහෙද. ඌ තව එකෙක් එක්ක සෙට්වෙලා දණ්ඩි පැටව් අල්ලන්න පුළුවන්ද කියල බලබල හිටිය.
ගෙම්බාගේ දන්ඩි මෙහෙයුම...
මෙතනදීත් පොඩි පොඩි සිද්ධියක් දෙකක් උනා අපේ කපල් අතරේ. දරුණු ඝණයේ ඒවා නොවුනත් මේ වගේ ගමනකදී ඒවා ටිකක් විතර අවුල්. කොහේ බැලුවත් දොඩම් කිව්වලු. ඔව්ව බලන් ඉන්න බැරුවද මන්ද අපි අර පුංචි දුපතට පීනලා යන්න ඇත්තේ.
මේ වගේ සිද්ධි සිද්ධ උනේ පළවෙනි වතාවට වෙන්න ඕනේ. ඒ බව අපේ අනිත් උන්ගේ මුණු වල අපුරුවට ලියවිලා තිබුනා. මුල් වතාවට ෆීල්ඩ් විසිට් ආපු අපේ කපල් එකක් දෙකක් තමයි මෙව්වට මුල පිරුවේ...

ඔව් ඔව් උඹල හිතපු දේ හරි... රූ සහ කොට්ස් ඩබලත් ඒවට හවුල්. එයින් එක කපල් එකකට ඊට පස්සේ අපි එක්ක ගමන් යන්න ලැබුනෙම නැහැ. එක්කෝ අපේ උන් උන්ව හැලුවා, එහෙම නැත්නම් උන් විසින්ම හැලෙන්න ඇති. රූ ත් ඊට පස්සේ ගමන් වලට ආවේ තනියම. කොට්ස් සහ රූ සම්බන්දෙ වැඩි කාලයක් නොගිහින් හබක් වෙලා ගියා. අපි ගොඩ දෙනෙක් ඒ ගැන සෑහෙන සතුටු උනා. කොට්ස් කියන්නේ ටැලන්ට්ස් බර ගාණක් තිබුණු අපි අතරේ හිටපු ගොඩක් විශේෂ චරිතයක්. රූ වගේ පිස්සු විකාර කෙල්ලෙක් නිසා උගේ ප්‍රතිරූපයට හානිවෙන බව අපි හැමෝටම තේරුම් ගිහින් තිබ්බ නිසා තමයි අපි ඒ ලව් එක නතරවෙලා කියල ආරංචි උනාම සතුටු උනේ.

අපි ඉස්සර වතුරකට බැස්සම කරන ලොකුම වැඩක් තමයි පිරමිඩයක් ගහන එක. අතපය උළුක්කු කරගෙන කොන්දේ අමාරු හදාගෙන මේකක් ගැහුවේ නැත්නම් ඉතිං රෑට නින්ද යන එකක් නැහැ. මේ තියෙන්න එදා අපි ගැහැව්ව පිරමිඩේ.


ඕව ගහන්න ගියාම මම, පෙරා එහෙම ගොඩ වෙලාවට බේස් එකට සෙට් වෙනවා. බේස් එකට සෙට් වෙනවා කියන්නේ හෙණ ගේමක්. අනිත් උන්ගේ බර උස්සගෙන ඉන්නත් ඕනේ, පොඩ්ඩක් හරි බැලන්ස් නැති උනාම උඩ ඉන්න එව්වෝ වැටෙන්නෙත් අපේ ඇඟවල් උඩට. ඔය කේස් කොච්චර තිබුණත් මම කවදාවත් බේස් එකෙන් උඩට ගිහින් නැහැ. ඒ කුණ කන්න තියෙන උපන් ගෙයි කරුමේ හෝ උරුමේ හින්දමද දන්නෙත් නැහැ.

මෙතන සෑහෙන වෙලාවක් ලගා ගහල පිස්සු නටල එහෙම අපි ආපහු කැම්පස් එකට යන්න පිටත් උනා. එහාට යද්දී වෙලාව හවස හයත් කිට්ටු වෙලා තිබුනේ. ඒ අවට අමුතු ලස්සනක් තිබුනේ ඉර බැහැගෙන එද්දී.
හිරු අවරට යමින්...





මාළු දැල් එළමින්...
එදා රෑ මොකක්දෝ මන්ද අපේ ගමන ගැනයි තව තව දේවල් ගැනයි කතා කරන්න සාකච්ජාවක් වගේ එකක් තියෙන කතාවකුත් වටින් ගොඩින් දැන ගන්න ලැබුනා. ඒ එක්කම වන්නී ඇවිත් මටයි පෙරාටයි රහසින් පොඩි පණිවිඩයක් කිව්වා.

ඔන්න වන්නි තමයි මේ විසිට් එකේ සංවිධායකයා. එක එක ගමන් සංවිධානය එක එක්කෙනා බාරගෙන කරන ක්‍රමයක් මෙවුන් අතරේ තිබුනේ. සංවිධායකයට තමයි කැම්පස් එකේ බස් කතා කර ගන්න එක, නවාතැන් පහසුකම් හොයා ගන්න එක, කෑම බීම සම්බන්ධ වගකීම් වගේ දේවල් ගැන සොයා බලන්න වෙනවා. ඒ වගේම අනිත් උනුත් සංවිධායකයා ඉල්ලන උදව්වක් දෙන්න අනිත් උදවියත් සැදී පැහැදී හිටියා(ලු). මේ ලු දැම්මේ ඇයි දන්නවද. මම කවදාවත් කැම්පස් කාලේදී මුන්ට මේ වැඩ වලට සප් කරලා නැහැ මේ වැඩ වලට. මට කරන්න වෙන වැඩ ඕනේ පදම් තිබ්බ නොවැ. මට කැලෑ උණ හැදුනේ සහ මම ට්‍රිප් සෙට් කරන්න ගත්තේ අවුට් උනාට පස්සේ. ඔන්න ඕකයි රහස...

දැන් මේ අපේ කැම්පස් එකේ බස් වල ඉන්න රියදුරු මහත්තුරුයි ගෝලයොයි ඉන්නවා නේද, උන් සමහර වෙලාවට ළමයි එක්ක ගමන් ගියාම ළමයින්ට ගෙම්බර් දාන වෙලාවල් තියෙනවා. ඒ නිසා උන්ව ශේප් එකේ තියා ගන්න පොඩි පොඩි දොළපිදේනි දෙන්න වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තිබ්බේ.

වතාවක අපි සුනාමි ආධාර විදිහට ගෙවල් වගයක් හදල දුන්න ඔන්න ඔය බලපිටිය කිට්ටුව දිහාක. අපි ගෙවල් හදල දුන්නේ සුනාමියෙන් ගෙවල් කැඩිච්ච කැම්පස් ළමයින්ට. අපි කළින් දවසෙම පාරේ බස් එකේ එහෙ ගිහින් පොඩි පොඩි පිස්සු ටිකක් එහෙම කෙළලා හරිහැටි නින්දකුත් නැතුව හිටියේ. ඒ ගෙවල් ජනසතු කරන අපේ පුංචි උත්සවේට කැම්පස් එකේ පොඩි එව්වෝ සෙට් එකකුත් අපි ගෙන්න ගත්තා කැම්පස් බස් එකකම නග්ගලා. ඇත්තම කිව්වොත් අපි එදා කලේ ඒ ගෙවල් ජනසතු කිරිල්ලක් නෙමෙයි “ළමයි සතු” කිරීමක්. පොඩි උන් ආපු බස් එකේම ආපහු කැම්පස් යන්න තමයි අපේ ප්ලෑන් එක උනේ. ඒ බස් එක එලෙව්වේ “සරත්” අයියා කියන රියදුරු මහත්තැන්. බස් එකේ උන්නු පොඩි බැච් වල කොල්ලෝ කෙල්ලෝ ටික රැල්ල පාගන්න බස් එක නතර කරන්න කියල කිව්වට මෙයැයි බස් එක නතර කලේම නැහැ. මාරු ආවේශ වෙලා වගේ කොළඹ දිහාට පිඹගෙන එනවා.

ඔය සමහර දේවල් තියෙනවා නේද කරවගන්න බැරි වගේ හිතෙන. ඒ වෙලාවට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ෂේප් න්‍යාය අනුගමනය කරලා ඒ ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්න එක. ඔය ගොඩක් පෙන්ෂන් ගිය පොලිස් මහත්තුරු කරන්නෙත් ඒකයි. මම දැන් වැඩ කරන තැන ඉන්න අපේ ඇඩ්ඩින් මැනේජර් මහත්තැනුත් එහෙව් කෙනෙක්. හිටපු SP මහත්තැන් කෙනෙක්. අපේ එකෙක්ව පොලිසියෙන් ඇල්ලුවා කියල හිතමු. මිනිහට කෝල් එකක් දීල විස්තරේ කිව්වොත් මිනිහ කියන්නේ “ආ... එහෙමද. එහෙනම් ටිකක් ඉඳලා දඩ කොලේ ලියාගෙනම වරෙන්, ඕකට ලොකු දඩයක් ගහන්නේ නැහැ බං” කියලා.

මමත් ඔය වගේ වෙලාවල් වල ඔය න්‍යාය පාවිච්චි කරලා නම්බුව බේරගන්න වෙලාවල් නැත්තෙම නැහැ. මේකත් ටිකක් ඒ වගේ වෙලාවක්. ඒ කිව්වේ මේ සුනාමි ගෙවල් බාර දීල ආපහු එන ගමන් ඇදිච්ච බස් කේස් එක. අපේ උන් සෙට් එක ඒ වෙද්දී ඇල්පිටියේ කුරුඳුගහ පැත්තේ යාළුවකුගේ ගෙදර ගාටලා කිතුල් ගහේ තනි අකුරෙන් පොඩ්ඩක් මෙව්වා වෙලත් එක්ක හිටියේ. ඒ එක්කම මට හිතුනා මු කියන විදිහට මු මේ බස් එක නවත්තන්නෙම නැහැ. ඒ නිසා මේකට අත දාන්න හොඳ නැහැ කියලා. එහෙම හිතලා සීට් එකක වාඩිවෙලා හොඳ නින්දක් දාන්න පටන් ගත්තා. කළින් දවසේ හරිහැටි නින්දකුත් නැහැනේ.

මම නිදා ගන්න යද්දී මේ ගැන හොඳටම මළ පැනපු “හෑස් තුමා” බස් එකේ ෆුට්බෝඩ් එකට බැහැලා රියදුරු අයියගේ මව්පිය ගුණ ගායනා කරන ගමන් දුමක් උර උර ආවේ. ඔන්න මම දැන් පොඩි නැප් එකක් දාගෙන ඉන්න ගමන්.
ඔන්න ඔය වගේ හරි මුරණ්ඩු “අණත්දෙන” සේවකයෝ තමා අපිට උන්නේ. අන්තිමට කවුරුහරි අවම බලය පාවිච්චි කරවලා “චු බරයි අයියේ... අන්න අර කඩේ ගාව බස් එක නතර කරන්න කියලා” දැඩි ලෙස අවවාද කරවලාලු බස් එක නතර කරවගෙන තියෙන්නේ. නින්ද ගිහින් තිබ්බ නිසා සම්පුර්ණ සිද්ධියම දැක බලා ගන්න මට බැරිඋනා. බස් එක නතර කරලා “බැහැපන් මචං” කියල කිව්වම තමයි මම දැක්කේ බස් එක නතර කරලා කියලා. මම හිතුවේ බස් එක කොහේහරි හැප්පිලා නතරවෙලා කියලා. අන්තිමට අපි පාගපු ඇති රැල්ලකුත් නැහැ. චු කලෙත් නැහැ, ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඇවිත් බස් එකට නැගලා එන්න පිටත් උනා. ඒ තරම් හොඳ ළමයි අපි.

ඉතිං ඔන්න දැන් වන්නි මටයි පෙරාටයි කතා කරලා අතට සල්ලිත් දීලා කිව්වේ ඒ සද්කාර්යයට අවශ්‍ය පහසුකම් සපයන්න කියල. සද්කාර්යය කියල කිව්වේ රියදුරු මහත්තැන්ටයි ගෝලයාටයි දොළපිදේනි දෙන වැඩේ. ඉබ්බා දියේ දාද්දි ඇන්නෑවේ කිව්වලු. අපි දෙන්න ශේප් එකේ ගිහින් බස් අයියල දෙන්නව හම්බ උනා. “ශේප් එකේ ගියේ වෙන මුකුත් නිසා නෙමෙයි ආන්ටි සූ කෙරෙහි පෙරා ගේ තිබු බලවත් භක්තිය නිසා”. අපි රියදුරු මහත්තැන් ගාවට ගොහිං “අයියේ මෙන්න මේකයි සීන් එක” කියල කට ගන්න හම්බ උනේ නැහැ, බස් එක තනියම ස්ටාර්ට් උනාද කොහෙද. අපේ එකෙක් මැරෙන්න පණ අදිනවා කියල කිව්වත් ඒ බස් එක ඔච්චර ඉක්මනට ස්ටාට් වෙන එකක් නැහැ.

ඔන්න දැන් අපි ඉස්සරහ දැල් එහෙම ගහල තියෙන, නීතිය අනුව පිටිපස්සෙන් දොරක් ජනේල තියෙන්න බැරි, ඇතුල්වීම සහ පිටවීම දෙකම ඉස්සරහ දොරෙන් පමණක් කළයුතු වර්ගයේ තැනකට ගිහිං අදාළ ජාතියෙන් අපි හතර දෙනාට ඇති පදමෙන් අරගෙන ආව. සැර අඩු කරන වර්ගයේ එව්වද, හපන එව්වද ඔක්කොම ගෙනාවා.
අපි කැම්පස් එකට එද්දී අර කිව්ව මොකක්ද එක පටන් අරගෙන තිබුන. ඒකට එහෙම යන්න ඇරලා අපි අපේ වැඩේ පටන් ගන්න කියල ඩ්‍රයිවර් අයියලට දීල තිබ්බ කාමරේ පැත්තට හිමීට ගෑටුවා. ටික වෙලාවක් යද්දී ඩ්‍රයිවර් අයියයි ගෝලයයි දෙන්නම පෙරාගේ මචංලා වෙලා ඉවරයි. ඌ එහෙමයි, පෙළක් වෙලාවට කඩේකට ගියාම වේටර කොළුවට “මචං” කියල කියනවා. ඉතින් ඊට පස්සේ ඌට කියල කෑමක් බීමක් ගෙන්න ගන්නවා බොරු. උගේ මෙව්වා එක නළලට යනවා, මේ ගෝතයා කොච්චර කිව්වත් මේ වගේ වැඩ කරලා වැඩ අනනවා. ඒ උගේ උපන්ගෙයි හපන්කම්.

මෙතනනම් දෙයියනේ කියල එහෙම උනේ නැහැ. අපේ වැඩේ අහවර උනාට පස්සේ අපි දෙන්න බොහොම වැදගත් විදිහට නමුත් පොඩ්ඩක් වැනි වැනී ගියා අර වටමේස සාකච්ජාව තියෙන තැනට. වටමේස කියල කිව්වට එතන තිබ්බේ වටපුටු සාකච්ජාවක්. මට දැන් හෝ ගාල නින්ද යනවා. ඉඳල හිටලා ඇහැරුනාම වෙරි මරගාතෙ උනත් මොන මොනවහරි ඇහුව කියලත් මතකයි. ඒ අහපුවානම් මටත් මතක නැහැ. එතන හිටපු උන්ගෙන් බීලා හිටියේ අපි දෙන්න විතරයි, එහෙව් බීපු අපි අහන්න ඕනේ මට්ටමේ ප්‍රශ්න සමහර එව්වෝ අහනවා ඇහුණම අපේ වෙරි නිකම්ම හිඳෙනවා වගේ දැනුන.


එකෙක් අහනවා උන්ගේ ගෙදර වේලිච්ච ලී කොටේක කුරුල්ලෙක් බෙනයක් හදාගෙන හිටියලු. පස්සේ ඒ කොටේ තියෙන තැන වෙනස් කලා හරි, එහෙම නැත්නම් එක දිරල ගියා හරි මොකක්දෝ වෙලා දැන් කොටේ නෑලු. ඒ නිසා දැන් ඌ එන්නේ නැතිලු. ඌ මයිනෙක් විතර සයිස් එකෙක්ලු. ඌ කෑ ගහන්නේ කී... කී... ගාලලු. දැන් උගේ ප්‍රශ්නේ ඒ කුරුල්ලා මොකාද, උගේ නම මොකක්ද කියන එක.
ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මොන සක්කරයටද පුළුවන්. ඕකට උත්තරේ දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරක් වෙන්න පුළුවන්. මේ වගේ එක එක ජාතියේ ප්‍රශ්න වැලයි එතන.
ඔන්න ඔහොම දුක් විඳලා අහක් වෙලා මහ රෑ වෙලා නිදා ගන්න යමු කියද්දී අපේ වෙරි ඔක්කොම වගේ හිඳිලා තිබුනේ, වෙරි බහින්නේ නැද්ද හිනා වෙච්ච තරමට. අන්තිමට බොහොම සන්තෝසයෙන් සාර්ථක දවසක් නිමා කොලා කියන සිතුවිල්ලෙන් නිදා ගන්න පිටත් උනා.

මමයි පෙරයි දෙන්න එක්ක රෑට කාල ඉවර වෙලාද අර වට පුටු සාකච්ජාවට ගියේ, එහෙමත් නැත්නම් ඒක ඉවරවෙලාද කෑම කෑවේ කියල මතක නැහැ. කොහොම උනත් නිදා ගත්තේ බඩගින්නේ නෙමෙයි කියලනම් ෂුවර්.
මෙන්න මේ විදිහට එදා දවස අහවර වෙලා අපි නින්දට වැටුන අපේ ඊළඟ දවසේ ඉලක්කය වුනේ යාල බ්ලොක් 5 වල හදන්න පටන් අරගෙන තිබුන “වෙහෙරගල” ව්‍යාපෘතිය බලන්න යන එක.
මේ ෆොටෝ එකක්වත් මම ගත්තු ඒවා නොවේය. ඒවා සියල්ල මාගේ මිතුරු මිතුරියන් විසින් ගන්නා ලද ඒවාය. අයිතිය උන් සතුය.


ඔන්න එහෙනම් ආපහු හැකි ඉක්මණට ඒ කොටස දාන්නම් මේ තරම් පරක්කු නොවී...

Tuesday, 10 March 2015

රහතන්ගල වෙහෙරගල චාරිකාව - රහතන්ගල කඳු මුදුන බලා

2006-04-28 සිට 30 දක්වා  

මේ කියන කාලේ තමයි අපේ කැම්පස් එකේ නේචර් ටීම් එක කියන පරිසර හිතවාදී කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය පටන් ගත්තේ. ඒ වෙනුවෙන් මුලික වෙලා වැඩ කලේ අපේ පල්ලෙහා බැච් එකේ කුරුල්ලා ඇතුළු කණ්ඩායමක්. මුල් කාලේදී සංගමය ප්‍රසිද්ධ කරවන්නයි, සිසුන් බඳවා ගන්නයි මේ කියන කාලේදී එක එක වැඩ සටහන් ආරම්භ කරලා තිබ්බා. අපේ බැච් එකෙන් මේ සංගමේට බැඳිලා ටිකක් බැහැලා වගේ වැඩ කලේ පෙරා සහ වන්නි කියන දෙන්න. උන් දෙන්නගෙම අන්වර්ථ නම් උනේ ගෙම්බා (පෙරා) සහ වඳුරා(වන්නි). සත්තු දෙතුන් දෙනෙක් එකතුවෙලා නේචර් ටීම් එකක් හදාගෙන කියල කාඩ් ගහපු අපි මේ සෙට් එකට එක එක කතා කියකිය මඩ ගහන එක අඩුවක් නැතුවම කලා. මේ දවස්වල සංගමේ සභාපති උනේ වන්නි.

මේ සෙට් එක කැම්පස් එකේ වටපිටාවේ තියෙන ගස් ගල් වල නම් ගම් කොටන්න පටන් ගත්තා එක වතාවක්. කොන්ක්‍රීට් වගේ මොකක්දෝ මන්ද බෝඩ් ලැල්ලක් ගහක කොළයක් වගේ හදාගෙන කැම්පස් එකේ තිබ්බ ගස් ගාව බිම එව්ව ඉන්දන එකද කොහෙද මුදලගේ පළවෙනි රාජකාරිය උනේ. ඒකෙ සිංහල නම, ඉංගිරිසි නම වගේම විද්‍යාත්මක  නමත් ගහල තිබුනද කොහෙද.  ඒවා හිටවලා ටික දොහක් යහතින් තිබ්බට එව්වයෙත් අපල කාලය උදා වෙන්න පටන් ගත්තා. රෑට රෑට එව්වට ගල් ගහපු සමහර කොල්ලෝ නිසා හැමදාම වගේ ඒ බෝඩ් ලෑලි කැඩිලා බිඳිලා ගියා. දෙතුන් වතාවක් ඒවා අළුත් කලත් ඒ වැඩේ දිගටම කරන්න බැරි නිසාද කොහෙද කාලයක් යද්දී ඒ බෝඩ් ලෑලි අළුත් කරන වැඩේ නතර උනා මම හිතන්නේ.

ඔය ගල් ගහන වැඩේ තියෙනවා නේද, මම කවදාවත් කලේ නැහැ. ඔය දේපොළ වනසන වැඩ වලට මම ටිකක් අකමැතියි. මිනිස්සු ලංකාවට හොරෙන් ගෙනාව කියල අල්ල ගන්න රටින් ගේන විස්කි, සිගරැට් වගේ දේවල් විනාශ කරනවා නේද. ඒවත් මම හිතන විදිහ අනුව වැරදි වැඩ. ආණ්ඩුවට පුළුවන්නේ ඒවා විකුණලා ගාණක් හොයා ගන්න. ඔව්ව හදන්න ගිය නිෂ්පාදන වියදම, ඔව්ව ලංකාවට ගෙන්නන්න හොරෙන් ගෙනාපු මිනිහට ගියපු වියදම, ඒ සල්ලි ඔක්කොටම අමතරව ආපහු සල්ලි වියදං කරනවා විනාස කරන්නත්. මෙහෙ හදන විස පිරිච්ච එව්වා වගේ නෙමෙයි මේ කුඩු වෙන්නේ හොඳ ප්‍රමිතියට හදාපු හොඳ හොඳ ජාති. මම කියන දේ  කවුරු අනුමත නොකළත් මේ සිද්ධ වෙන්නේ ලොකු අපරාධයක්.

මේ කියන කාලේ වෙද්දී කැම්පස් එකට අලුතින්ම කැන්ටින් එකක් හැදුවා. අපි කැම්පස් යද්දී පරණ ගොඩනැගිල්ලක් වෙච්චි ගොඩ කැන්ටිම තමයි ඒ විදිහට අළුත් උනේ. අළුත් බිල්ඩින් එක හින්ද කැම්පස් එකේ එව්වෝ ඕකේ බිත්ති වල දැන්වීම් අලවන්න ගියේ නැහැ. ඒ නිසා අපි කලේ එක කොටසක දැන්වීම් අලවන්න වෙනම බෝඩ් එකක් සහ එක එක සංගම් වලට තමන්ගේ බෝඩ් එල්ලන්න වෙනම තැනුත් වෙන් කරලා දුන්නා. මෙන්න මෙහෙම තියෙද්දී එක දවසක් උදේ අපි බලද්දී කෑම ගන්න යන පෝලිම කිට්ටුවේම හරියටම ඉස්සරහ බිත්තියේ මෙවුන් ටික බෝඩ් ලැල්ලක් එල්ලලා තිබ්බා. අපිට නේද, මුන් එක්ක මළ. යාළුවො නිසා බනින්නත් බැහැ. බැහැ කිය කියා නිකං ඉඳල හරියන්නෙත් නැහැ, වහාම නිවේදනයක් දුන්නා බෝඩ් එක ගලවාගෙන ගොහින් බෝඩ් එල්ලන්න තියෙන හරියේ එල්ලපිය කියලා. ඉතිං ඒක එහෙම උනා.

හැබැයි මෙයාල වතාවක් කැම්පස් එකේ අළුතින් පැළ වගයක් හිටෙව්වා, ඒවනම් මේ වෙද්දී අපි වගේ දහ පහළොස් ගුණයක් උසට හැදිලා ඇත්තේ. අන්න එව්වනම් ජාති ජාතිත් පල දෙන හොඳ පිං අතේ වැඩ.
මේ පහලින් තියෙන්නේ 2008 වෙද්දී ඒ ගස් හැදිලා තිබ්බ අපුරුව...



ඒ මදිවට මේ සෙට් එක කැම්පස් එකෙන් ඉල්ලගන්න බස් වලින් එහේ මෙහේ ගමන් යන්නත් පටන් අරගෙන තිබුනා මේ කාලේ වෙද්දී. උන් ඒකට කිව්වේ ක්ෂේත්‍ර චාරිකා කියලා. එහෙම ගිහිල්ල වැඩිපුරම කරනව කියන්නේ කුරුල්ලෝ බලන එක තමයි. අපිට මේ වැඩේ ඇල්ලුවෙත් නැහැ. කුරුල්ලෝ සමනළයෝ විතරක් බලන්න ට්‍රිප් ගිහින් වැඩක් තියෙනවද කියලයි අපි කල්පනා කලේ. මෙන්න මේ වගේ කරුණු කාරණා නිසා අපේ සෙට් එකේ එව්වෝ “මුන්ට පිස්සු” කියනව වගේ මානසිකත්වයෙන් තමයි මේ සංගමය සහ ඒකෙ සාමාජිකයෝ දිහා බැලුවේ.
මේ කියන කාලේ වෙද්දී සති අන්තයේ ගෙදර දුවන්න පුදුම ආසාවක් මට තිබ්බා.(අදටත් එහෙම තමයි) යුනියන් එකේ මොනවහරි වැඩක් තියෙනවනම් හරි විභාගයක් වගේ දෙයක් ඇරෙන්න මම අනිවා ඩෙෆා ගෙදර.
මෙන්න මේ කියන විශේෂ සති අන්තයේ මගේ බයිසි මොටෝ එකේ කාරුණික දෝෂයක් නිසා ඒක හොස්ටල් එකේ ගාල් කරලා බස් එකේ ගෙදර යන්න හිතාගෙන මම දැන් එනවා පටුවතේ ඉඳල කැම්පස් එක හරහා. එහෙම එද්දී පාර දිගේ කෙලින්ම ගිහින් බස් හෝල්ට් එකට යන්න පුළුවන් උනත් මම යන්නේ එහෙම නෙමෙයි. මුලින්ම යන්නේ වල කැන්ටිමට, එතන ටිකක් ලැගලා ඊට පස්සේ යනවා ගොඩ කැන්ටිම දිහාට. එතනත් කාත් එක්ක හරි ලගා ගහල ප්ලේන්ටියක් කාරිය බීල තමයි පාරට එන්නේ.

මෙන්න මෙහෙම ආපු එක දවසක මට වල කැන්ටිමෙන් එහාට යන්න බැරි උනා. ඒ වෙද්දී වෙලාව හවස 04:00 විතර ඇති. මම එද්දී නේචර් ටීම් එකේ යාළුවො සෙට් එක තඩි බෑග් එහෙමත් අරගෙන ඒවා මේස පුටු උඩ ගොඩ ගහගෙන ලුණු මිරිස් එක්ක පොල් රොටි කකා ප්ලේන්ටි ගහනවා. එතන වැඩිපුරම හිටියේ අපේ බැච් එකේ උන්. අපේ උන් යාළු වෙලා හිටපු ආකි කෙල්ලෝ කීප දෙනෙකුත් තව පොඩි උන් ටිකකුත් හිටියා. පෙරා, ආන්ටි සු, වන්නි, චාමිනි, ගලා, සජ්, අංජුල, කොට්ටෝරුවා(ලිවීමේ පහසුව පිණිස මෙම නාමය කොට්ස් ලෙස කෙටි කර ඉදිරියේදී යෙදෙනු ඇත), රූ, බබා, බබී, කුරුල්ලා, කව්වා, අලයා, හනී, මොල්ලි, රුවනි, විචී, අයේෂ්, කුරුළු නගා, තරංග, චන්දන සහ කලින් දැකල තිබ්බට හරියට නම්ගම් දන්නේ නැති සහ මතකනැති පොඩි උන් කීප දෙනෙකුත් හිටියා. දැන් මෙතන නම් වලින් කිව්වට සමහරුන්ගේ නම් දැනගත්තෙත් එදා.

මමත් දැන් උන් එක්ක වාඩිවෙලා රොටි කනවා, ප්ලේන්ටි බොනවා කතා බහ කරනවා. මුන් සෙට් එක බුත්තල පැත්තේ තියෙන රහතන්ගල කන්ද කියන කන්ද නගින්න යන බවත්, සම්පුර්ණ රෑ දෙකක් ඒ කිට්ටුව තියෙන සබරගමුව කැම්පස් එකේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ හොස්ටල් එකේ නතරවෙන බවත් කිව්වා.
පෙරා, ගලා, වන්නි ඇතුළු අපේ උන් සෙට් එක දැන් මටත් කතා කරනවා මේ ගමන යන්න. පිස්සුද බං “උඹල කුරුල්ලෝ බලද්දී මම උඩ බලාගෙන ඉන්නද” එහෙම කියපු මම “බැහැ” කියල කිව්වා. අපේ සෙට් එකනෙ බං වැඩිපුර ඉන්නේ “පොඩි ආතල් එකකුත් ගන්න පුළුවන් මචං, යමං...” එහෙම කිව්වේ පෙරා. කොට්ස් කිව්වේ “යමං බන්” කියලා. ඌ කතා කරන්නේ “බං” කියල නෙමෙයි “බන්” කියලා. හරියට ඉංගිරිස් වලින් බනිස් වලට කියනවා වගේ. ඒ අතරේ “රූ” ඇවිත් “යමු xxxx අයියේ” කියලත් කිව්වා. රූ කියන්නේ ආකි කෙල්ලෙක්. ඒ දවස්වල ඒකි අපේ කොට්ස් එක්ක පොඩි මෙව්වා එකක් පටන් අරගෙන තිබුනේ. පොඩියි කිව්වට පොඩිමත් නැහැ, ඒ දවස්වල තරමක් හොඳට නැගල ගිය සීන්කෝන් එකක් ඒක. ඒත් ඒ අතරේ මගේ දිහාටත් රූ ගේ ඇන්ටනාව කැරකෙනවා කැරකෙනවා වගේ ගතියක් මට තේරෙන්න පටන් අරගෙන තිබ්බේ. පස්සේ ඒ අමුත්ත අපේ සෙට් එකේ උන්ටත් තේරිලා මට මඩ ගහන්නත් පටන් ගත්තත් එක්ක. හරි හරි ඒවා ඕනේ නැහැනේ මෙතනට. යමු දැන් කතාවට.

හැමෝම කතා කරන හින්දයි, කන්දකුත් නගින නිසා පොඩි හරි ආතල් එකක් තියෙයි කියලත් හිතලා, මුන් ටික එක්ක මේ ගමන යන්න මම තීරණේ කලා. වන්නි එක්ක ආපහු හොස්ටල් එකට ගිහිං තවත් ඇඳුම් කැඩුම් ටිකකුත් බෑග් එකට දාගෙන වල කැන්ටිම දිහාට සැපත් උනා.
ටෙක්ස්ටයිල් එකට අයිති රෝසා බස් එක තමයි මේ ගමන යන්න ලෑස්ති කරගෙන තිබුනේ. බඩුමුට්ටු ටික බස් එකට පටවගෙන ගමන පිටත් වෙද්දී වෙලාව හවස 05:30 විතර වගේ උනා. මගදිගට සිංදු එහෙම කියාගෙන ගියාට වෙන ආතල් මුකුත් නැහැ. මොනවා කරන්නද වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපල්ලකො.

රෑ කෑම ලෑස්ති කරලා තිබුනේ කුරූගේ නගා ගේ යාළුවෙක්ගෙ හරි එහෙමත් නැත්නම් උන්ගේ නෑදෑයෙක්ගේ හරි ගෙදරකින්ද කොහෙද. ඒ ගෙදර තිබ්බේ රත්නපුරේ ටවුම කිට්ටුව. ගෙදරක් කිව්වට අපිට කෑම ලැස්ති කරලා තිබ්බේ එයාලගේ කඩේක උඩ තට්ටුවක බුෆේ ක්‍රමේට. එතනින් කෑම ටිකක් (හොඳ ටික) බඩට දාගෙන පිටත් වෙද්දී වෙලාව රෑ 09:00 ත් පහුවෙලා තිබ්බද කොහෙද. කෑම වේල ඇත්තටම හොඳයි. අපි පිටත් වෙද්දී අපි එක්ක මේ ගමන යන්න ඒ ගෙදරට අදාළ නගා කෙනෙකුත් එක්කාසු උනා.

බස් එකේ පිටිපස්සේ හරියේ හිටියේ කපල් දෙක තුනක්, මගදී සිංදු කියපු නිසා තනිකඩ වෙච්චි අපි කීප දෙනෙකුත් ටිකක් පිටිපස්සට වෙන්න ඉඳගෙන උන්නේ. රෑ වෙද්දී සිංදු කීම පැත්තක දාල ගොඩ දෙනෙක් නින්දට වැටුනා. සිංදු කියන්න ඕනේ නිසා පිටිපස්සේ වාඩි උනාට රෑ ජාමේ කපල් වලට කිට්ටුව වාඩිවීමේ ප්‍රථිපල ලැබෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඉස්සරහ සීට් එකට අත්දෙක තියාගෙන නිදා ගන්න ලොකු ගේමක් දීගෙන තමයි මම හිටියේ. මගේ කරුමෙට වැටිච්ච තැනක එක පාරටම නින්ද යන්නෙත් නැහැ. ඇහැරිලා ඉඳල වැරදිලා හරි වැරදි දෙයක් දැක්කොත් හරි නැත්තේ අපේ යාළු කම් වලට නොවැ. ඒ නිසා බලෙන් හරි නිදා ගන්න එක තමයි එකම විසඳුම උනේ. මගේ උත්සාහයත් ටික වෙලාවකින් සාර්ථක උනා.

අපි බුත්තල කැම්පස් එකට එද්දී වෙලාව රෑ 12:00ත්  පහුවෙලා තිබුනා. බස් එක නතර කලාම තමයි ඇහැරුනේ. කුරුල්ලගෙ යාළුවෙක් වෙච්චි එදාම අඳුන ගත්තු චමිත ඇතුළු කීප දෙනෙක් ඇවිත් අපිව සාදරයෙන් පිළිගත්තා. උන්ගේ හොස්ටල් එකෙන් අපි වෙනුවෙන් කාමර දෙකක් වෙන් කරලා තිබුනා. ගෑල් ළමයින්ටත් ගෑණු හොස්ටල් එකේ කාමර ලෑස්ති කරලා තිබුනා. රියදුරු මහත්තැන් සහ ගෝලයාටත් වෙනම කාමරයක් ලැබුනා. පොඩි අවුලකට කියල තිබුනේ වියළි කලාපෙ නිසාද මන්ද තරමක වතුර හිඟයක් තිබ්බ එක තමයි. ටැප් එකෙන් එන නොඑන ගානට එන වතුර ටිකකින් අමාරුවෙන් මුණ කට යන්තම් හෝදගෙන පුළුවන් ඉක්මණට නිදා ගන්න ගියේ පහුවෙනිදා උදෙන් නැගිටලා කන්ද නගින්න යන්න ඕනේ නිසා.

පාන්දරින් නැගිටිනවා කිව්වට පහුවෙනිදා අපි ඇහැරුනේ උදේ හයත් පහුවෙලා. රෑ ජල හිඟයක් තිබුණට උදේ අවුලක් උනේ නැහැ. වැඩ කටයුතු ටික කරගන්න සෑහෙන වතුරක් ටැප් දිගේ ගලාගෙන ආවා. කොහොමින් කොහොමහරි ලක ලෑස්ති වෙලා උදේ කෑම හොයාගෙන පිටත් උනා. කෑම ලෑස්ති කරල තිබුනේ ඒ කිට්ටුව තිබ්බ කැන්ටින් එකේ. එතන තිබුන කෑම අපේ කැන්ටින් වල කෑම වලට වඩා රසයි, ඒ වගේම කෑම කාලා මේස උඩ ඉඳුල් පිගන් දාල යන පුරුද්දක් එහෙ ළමයින්ට තිබුනෙ නැහැ. තමන් කාපු පිඟාන හෝදලා තියන්න හැමෝම වග බලා ගත්තා.
කෑම වලට, කඩදාසි වලට, ප්ලාස්ටික් වලට වෙන වෙනම ඩස්ට්බින් තිබුන විතරක් නෙමෙයි ළමයි ඒවා නිවැරදිව පාවිච්චි කලා. අපේ කැම්පස් එකේ ඒ දේ ක්‍රියාත්මක කරන්න සෑහෙන අමාරු වෙච්ච දෙයක්. නමුත් කාලයක් ගියාට පස්සේ තරමක් හොඳ මට්ටමකට හැරුනා.

මම රට ඉන්න කාලේ රස්සාව කරපු තැන අපි බොන තේ එක හදා ගන්න ඕනේ අපිමයි. හැමෝටම තමන්ගේ ලොකර් එකක තම තමන්ගේ භාජන තිබුනා. පොදු වැඩ වලට කියල එක ඉන්දියන් සේවකයෙක් හිටියා. මිනිහ තමයි කැන්ටිම, ඔෆිස්, ලැබ් එහෙම අතුපතු ගාන එකයි ටොයිලට් එහෙම හෝදන එකයි කලේ.
එක දවසක් අපි තේ බොන්න ගියාම මගෙත් එක්ක එකට වැඩ කරපු කැම්පස් එකේ මගේම බැචෙක්ගේ තේ එක උගේම අත පැටලිලා වැටුනා. මේස උඩයි, බිමයි හැම තැනම කිරි තේ. මේ වෙලාවේ අර අර මනුස්සයත් ඇවිත් අනිත් සේවකයෝ වගේම කැන්ටින් එකේ වාඩිවෙලා තේ බොනවා. අපේ එකාගේ තියෙන මජර කමට ඌ හලා ගත්තු කිරි තේ පිහිදාන්න කියල අර මනුස්සයට කිව්වා. ඒ මිනිහගේ අසරණ කමට මිනිහත් හා කිව්වා. නමුත් එතන හිටපු අපි හැමෝගෙම තර්කය උනේ අඩු ගානේ මේසේ උඩ වැටිච්ච තේ ටික හරි අපේ එකා පිහිදාන්න ඕනේ කියන එක. ඔන්න අපේ උන්ගේ හැදියාව.

දැනුවත් කිරීම්...
රහතන්ගල නගින්න කළින් කට්ටියටම වටයක් විදිහට ඉන්න කියල පොඩි පොඩි උපදෙස් ටිකක් එහෙම දුන්නේ කුරූ. මමත් කියන දේවල් හොඳට අහගෙන ඉඳලා එතනට ඕනේ විදිහට අනුගත වෙන්න තීරණය කලා. ආපු ගමනෙන් වැඩක් වෙන්නත් එපෑ.
ගමන පටන් ගත්තු ගමන්ම වගේ සිවුරු හොරකුයි සහ තවත් කුරුළු වර්ග කීපයක් දකින්න පුළුවන් උනා. කොහොම උනත් මගේ අතේ පොඩි සටහන් පොතක් තිබුනා විතරක් නෙමේ අනිත් උන් කුරුළු පොත් බලබල කියන අමුතු ඉංග්‍රීසි නම් එහෙම මම පොතේ ලියා ගත්තත් එක්ක. අපිත් එක්ක කන්ද නගින්න බුත්තල කැම්පස් එකේ චමිත එක්ක තව කීප දෙනෙකුත් එකතු උනා. සමනල්ලු කීප දෙනෙක් දැක්කට මට උන් ගැන ඒ තරම් උනන්දුවක් තිබුනේ නැහැ.

සමනළයෙක්...

මගේ ගාව මේ කාලේදී කැමරාවක් තිබුනේ නැහැ. කැමරා අතේ තිබ්බ කීප දෙනෙක් මෙලෝ සිහියක් නැතුව සමහරු බිම දිගාවෙලා එක එක ඉරියව් වලින් ඉඳගෙන හිටගෙන ෆොටෝ අල්ලනවා. මට මුන් ටික යන වේගේ මදි. අපේ බැච් එකේ ආපු උන්ගෙන් තනිකඩව හිටියේ මමයි වන්නියි අංජුලයි විතරයි. වන්නිගෙයි අංජුලගෙයි අතේ කැමරා තිබ්බ නිසා උන්ගේ තනිකඩ කමෙනුත් මහලොකු වැඩක් තිබ්බෙ නැහැ. තනිකඩ කෙල්ලක් වෙච්චි චාමිනි අතෙත් කැමරාවක්. ඒත් ඒකි මගේ තනිකම මකන්න මාත් එක්ක ටිකක් උන්නා. තව පොඩි උන් කීප දෙනෙකුත් එක්ක මමත් වටපිටාව බල බල ඉස්සරහට ගියා.
පඩිපෙළ....
මේ කන්දේ කළින් රහතන් වහන්සේලා වැඩ වාසය කල නිසා නම ලැබුණු බව තමයි දැනගන්න ලැබුනේ. ඒ සඳහා අවශ්‍ය කරන පරිසරයක් මේ කන්දේ තියෙන බව මට හිතුනේ කන්ද නගින්න පටන් ගත්තු මුල් පියවර කිහිපයේදිමයි. මුල් කොටසේදී අපේ ගමන්මග යෙදිලා තිබුනේ හොඳින් හදපු ගල් පඩිපෙළක් ඔස්සේ. අතරමග තැනක ගල් ගුහාවක කොටලා තිබුණු අක්ෂර වර්ගයක් දැක ගන්නත් පුළුවන් උනා.

කන්ද මුදුනට යන්න කලින් හොඳ හෙවනක නතරවෙලා පොඩි විවේකයක් ගන්නත් අමතක කලේ නැහැ. චොකලට් බිස්කට් ටිකක් එහෙම කාලා වතුර ටිකක් බීලා මහන්සි ඇරලා තමයි ගමන පටන් ගත්තේ.
විඩා හරිමින්...
කඳු මුදුන බලා...
එතනින් පස්සේ කන්දේ මුදුනට ගියාම දැකගන්න පුළුවන් උනේ මහ විශාල පිට්ටනියක් වගේ ගල් තලාවක්. තැනින් තැන වතුර පිරුන වලවල් කීපෙකුත් තිබ්බා. අපිට ආපු ලොකුම පුදුමේ තමයි ඒ එක වතුර වලක මාළු කීප දෙනෙක් ඉන්නවා දැකපු එක. කඳු මුදුනේ ඉඳල පහලට ගලා යන වතුර පාරක්වත් නැහැ. අන්තිමට මටනම් හිතුනේ උන් වැස්සත් එක්ක වැටෙන්න ඇති කියලයි. මේ වෙද්දී මගේ මනසත් මේ “අධ්‍යන චාරිකා” ඒ තරම් අවුල් සහගත නැහැ කියන මට්ටමකට ඇවිත් උන්නේ...
කඳු මුදුන...
නිදහස සොයා...
පහළ...
කන්ද උඩ පුදුම අව් රස්නයක් තිබුනේ. අයිනක තිබ්බ කුඹුක් ගහක හෙවනක හිටගෙන එහෙට මෙහෙට වෙන වෙලාවක මගේම තියෙන නරක වෙලාවටමද කොහෙද සාක්කුවේ තිබ්බ ෆෝන් එක දොහ් ගාල බිමට වැටුන. අපි හිටපු හරියෙ තිබුනෙ ගල් තලාවක් නෙමෙයි, ගල් ගෙඩි ගෙඩි වගේ වෙනම තියෙන ඒ අතරේ කඩතොළු තියෙන තැනක්. ඒ පහළ බිම එහෙමත් අපි හිටපු තැනින් අඩි විස්සක් තිහක් විතර පහළින් පේන්න තිබුනා.
තනිකඩයකුගේ නිදහස...
සිහිල් හෙවනේ...
මගේ ෆෝන් එකේ පියන හැලුනේ මේ වගේ තැනක තිබ්බ පැල්මකින්
සාක්කුවෙන් වැටුන ෆෝන් එක ගල උඩට වැටිලා කොටස් වෙලා ටිකක් උඩ ඉතුරුවෙලා පහළටත් කොටසක් වැටෙනවා මම දැක්කේ ඇස් කොණින් වගේ. කෑලි අහුලගෙන බැලුවම එතන ෆෝන් එකේ කේස් එකේ පිටිපස්සේ කොටස නැහැ. ඒක නැති උනාට ෆෝන් එක වැඩ කරනවා, ඒත් ඉතින් හෙළුවන් වගේ තමයි.
මේ වගේ අස්සකින් රිංගලා ඇතුළට ගිහිං තමයි ෆෝන් එකේ පියන හොයා ගත්තේ.
මම දැන් ට්‍රයි කරන්නේ කොහොමහරි පහළට බහින්න. මගේ සහයට වඳුරු තෙමේත් ඉදිරිපත් උනා. මට පහළ බැලුවම හිතුනා අපි ආපු පාරේම ආපහු ගියොත් එතනට එන්න විදිහක් හොයා ගන්න පුළුවන් වේවි කියලා. අපි දෙන්න එක්ක ටිකක් එහාට මෙහාට ගිහිං අන්තිමට අපි හිටපු තැනට පහළ ෆෝන් එකේ කේසින් එක වැටිච්ච කිට්ටුවටම ආවා. එතනටම බහින්න නුග මුල් වල එල්ලිලා එහෙමත් යන්න උනා. ඒ කොටස හරියට අමුතු ලෝකයක් වගේ, පුදුම ලස්සනයි. ලොකු ගල් ගෙයක් වගේ සෑහෙන පිරිසකට ඉන්න ඉඩත් තියෙනවා. හොඳට එළිය එහෙමත් තියෙනවා. ඇත්තටම හරි පුදුම තැනක්.
අපි දෙන්නා ෆෝන් එකේ කේසින් එකත් අරගෙන ආපහු ඇවිත් අපේ උන්ට කිව්වට උන් අපේ කතාව විශ්වාස කලේම නැහැ. අපිත් ඉතින් අපිට පාන්ද කියල කරබාගෙන හිටියා.

කන්ද ආපහු බහින්න ඒ තරම්ම වෙලාවක් ගියේ නැහැ. ඒ වෙද්දී වෙලාව දෙකත් පහුවෙලා. ආපහු කැම්පස් එකට ගිහින් මුණ අතපය සෝදගෙන දවල් කෑම ගැන විපරම් කරලා බැලුවා. දවල් කෑම ගන්න නියමිත වෙලා තිබුනේ එළියේ කඩේකින්. අපි පිටත් වෙන්න කළින් වැවේ නාන්න අවැසි කරන ද්‍රව්‍යත් අරගෙනම යා යුතුයි කියන පණිවිඩයත් ලැබුනා සහ ඒ අනුව ක්‍රියා කරන්න අපි කටයුතු කලා. බුත්තලට ගියාට ඒ වෙලාවේ බත් තියෙන කඩයක් හොයා ගන්න ටිකක් අමාරු උනා. බත් කඩයක් හොයාගෙන බත් ටිකක් බඩට දා ගත්තට පස්සේ රුවනිගෙන් අපිට යෝගට් සංග්‍රහයක් ලැබුනා. ඒකට හේතුව කිව්වට ඒක ඒ වෙලාවෙවත් මටනම් ඇහුනේ නැහැ එක්කෝ තේරුනේ නැහැ. සමහර විට හේතුව ඔය මොකක්හරි එකක් වෙන්න ඇති.

බත් කාල නිදහසේ ටික වෙලාවක් වාඩිවෙලා එහෙම ඉඳල අපි ආපහු පිටත් උනේ යුදඟනාව වැව දිහාට යන්න.
මෙන්න අපේ විවේක ගනිල්ලා...

ඉතුරු කොටස හැකි ඉක්මණින්...