Friday 28 October 2011

කැටපෝලය සහ බට්ටිච්චා



ඔන්න ඉතින් මටත් ඒ කාලේ වැද්දෙක් වගේ වෙන්න උවමනා වුනා, ඒකට ඉතින් මහලොකු දේවල් නෙවෙයි ඕනේ කලේ. දුන්නක්  ඊතල ටිකක් එහෙම නැත්නම් කැටපෝලයක් තමයි ඕනේ කරන භාණ්ඩ ටික.


ඒ වගේම මම හොඳ දක්ෂ ගල් විසි කරන්නෙක් වෙලා හිටපු කාලෙකුත් තිබ්බ. ඒ කියන්නේ නිවැරදිව ඉලක්කයකට ගලකින් ගහන එක

දුවන ඉලක්කයක් උනත් මට මහලොකු දෙයක් නෙමෙයි, අපේ ගෙදරට හොරා කන්න එන බල්ලෝ බළල්ලු මගෙන් ගුටි කාල යන වෙලාවල් ඕනේ තරම්.


දුනු ඊතල නිර්මාණයේදී මම ඒ තරම් දක්ෂතා පෙන්නුවේ නැහැ

ඉතින් මම ඒ වගේ දුනු ඊතල කරුමාන්තේ අසාර්ථක වෙච්චි නිසා ලේසියෙන් හදන්න පුළුවන් කැටපොලේට බැස්ස

කොච්චර හොඳ කරු හොයාගෙන කොච්චර හොඳ රබර් පටි හොයාගෙන කැටපෝල හැදුවත් වැඩක් නැහැ

ටික දවසයි තියෙන්නේ, පටිය කැඩිලා යනවා. හේතුව ඒකට දාල විදින ගල් වලටම පටිය කැපිල යන එක 
රබර් පටියේ මැදට සතෙක්ගේ හං කෑල්ලක් දාල හදා ගත්තනම් හරි කියන එක දැනගෙන හිටියත් කොහෙන්ද හං කෑල්ලක් හොයා ගන්නේ.

දැන් මොකද කරන්නේ,


ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක් අපේ ගෙදරට වරින් වර එන අපේ ගමේ කොල්ලෙක් ඉන්නවා රතු මහත්තය කියලා, මේකා ආව අපේ ගෙදර. මිනිහට අපි කිව්වේ රත්තා කියලා

මට වැඩිය අවුරුද්දක් බාල වෙච්චි රත්තා ඕනේ දේකට ඔට්ටු කොල්ලෙක්

අපේ ගෙදර ආවහම ගෙදර තියෙන පොල් ටිකත් කඩලා දීල එහෙම තමයි ඌ යන්නේ

එදත් ඇවිල්ල පොල් එහෙම කඩලා දීල අම්මත් ගෙදර නැති නිසා කුරුම්බා ගෙඩි දෙකකුත් කඩාගෙන බීල එහෙම තමයි අපි හිටියේ 

මේ කියන දවස් වල මමත් 8 හෝ 9 වසරේ  වගේ ඇති

අපි ඉතින් මේ දවස් වල අපිට තියෙන එක එක ප්‍රශ්න එහෙමත් සාකච්ජා කරන අතරේ මම මගේ ප්‍රශ්නෙත් රත්තට කියල දැම්ම 

මේකා එක පාරටම කිව්වේ නැතෑ, ඕනෙනම් අපේ ගෙදර තියෙන එළු හමෙන් පොඩි කෑල්ලක් කපල දෙන්නම් කියල

මටත් ඉතින් ඉහේ මලක් පිපුන ගානයි


ඒ වෙලාවේම ගත්තා මගේ රේසින් කරත්තේ අතට,  ගියා රත්තලගේ ගෙදර

(මේ කරත්තෙට තිබුනේ සැකිල්ලක් විතරයි. මේක ඕනේ තැනක ඇදගෙන යන්න පුළුවන්, හරියට දැන් කාලේ තියෙන මඩේ රේස් පදින ජීප් වගේ තමයි, රෝද ටිකයි ඒවා හයි වෙන ලී කෑලි දෙක තුනක් විතරයි)

ඒක මැටි ගහපු පුංචි ගෙදරක්


මම පොඩි කාලේ ඉඳල අදටත් මේ වගේ මැටියෙන් හදපු හොඳට බිම ගොම-මැටි ගාපු, පොඩි ඉස්තෝප්පුවක් එහෙමත් තියෙන, ඉස්තෝප්පුවේ බුරු ඇදකුත් තියල තියෙන, ගෙවල් වලට පිස්සුවෙන් වගේ ආසයි. ඒවායේ තියෙන සිසිල, වතුර කලගෙඩියේ වතුර වල තියෙන දිව්‍යලෝක රස...

රත්තගේ අම්මල තාත්තල එහෙම අපිට හරි ආදරෙයි

මගකදී දැක්කත් අහන්නේ "කොහෙද රත්තරනේ යන්නේ" කියල.... හරි ආදරණීය වචන

ඒක අදටත් එහෙමයි

මම ගමේ කමට ගමේ මිනිස්සුන්ට ආදරේ මෙන්න මේ වගේ අව්‍යාජ මිනිස්සු නිසා තමයි

ඔන්න දැන් රත්තා හං කෑල්ලක් කපනවා, මම බලාගෙන ඉන්නවා.... ඒක කපන්නත් ලේසි නැහැ

කොහොමින් කොහොම හරි එළු හං කෑල්ලත් අරගෙන මම ගෙදර ආව


මේ දවස් වල මගේ ගාව තිබුන මගේ චොපර් බයික් එකකින් අහක් කරපු රතු පාට හොඳට ඇදෙන ටියුබ් එකකින් බොහොම පරිස්සමින් කපා ගත්තු පටි කෑලි කීපයක්

මලයට වුනත් මම ඒකෙන් කෑල්ලක් දෙන්නේ බොහොම දුරට හිතල බලල වැඩකට නැති වගේ එකක් තමයි

එච්චරටම මට වටිනවා ඒක

ඒ වගේම දිවි කදුරු ගහකින් කපා ගත්තු හොඳම හැඩයේ කරුවකුත් තිබුනා මගේ ගාව

ඔන්න එදා හවස් වෙන්න කලින් ලස්සනට නියමාකාරව හදා ගත්තු කැටපෝලයක් මගේ අතේ

හවස් වරුවම ගත කලේ එක එක තැන් වලට ගල් විද විද, මගේ අලුත් නිර්මාණයෙන් උපරිම සතුටක් ගත්ත එදා හවස 


ඔය අතරේ ඉතින් මලයත් එනවා මගෙත් එක්ක මෙව්වට සහයෝගයට 

මේ දවස් වල මම අලුත් ගෙදරක් හදාගෙන තිබුනේ අඹ ගහ උඩ, ඒකට වෙලා කාලය ගත කරන එකත් අපි දෙන්නගේ දවසේ රාජකාරියේ කොටසක්

ඒකට යන පාරවල් දෙකක් තිබුනා, එකක් අඹ ගහ දිගේ, එහෙම නැත්නම පේර ගහ දිගේ නැගල, අඹ ගහට මාරු වෙලා
මම අඹ ගහ දිගේ යනවනම් මලය පේර ගහ දිගේ එනවා, ඌ අඹ ගහ දිහේ නගිනවානම් මම එනවා පේර ගහ දිගේ 

ඔය කොයිකෙන් ගියත් අපිට ඒ දවස් වල ඒක කජු කනවා වගේ ලේසි වැඩක් 


ඒත් දැන්නම් ඔය කාරිය කොරන්ට බැහැ, මම මේ මෑතකදී ඒ අඹ ගහට නැග්ග අඹ ටිකක් කඩන්න. නිකන් නෙමෙයි මුල හරියට ඉනිමගකුත් තියලා.

පහළ බැලුවහම පොඩ්ඩක් කැරකෙනවා වගේ ගතියක් ආව නොව, ඒත් ඉතින් හිත හයි කොරගෙන අඹ ටිකත් කඩලම තමයි ගහෙන් බැස්සේ



පස්සේ පස්සේ මම අලුත් සෙල්ලමක් හොයා ගත්ත

මේක කොරන්නේනම් ඉතින් ගොඩක් වෙලාවට ඉස්කෝලේ ඇරිලා එහෙම ආවට පස්සේ 

අපේ ඉඩමේ ගෙට උඩහා කොටසේ තියෙන්නේ තේ වගාවක්, ඒකේ තේ ගස් අතරේ බිම ගෝනි පඩංගු දෙකක් විතර එලාගෙන තේ ගස් අතරින් එහෙ මෙහෙ පනින කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්නවා

තේ ගස් යට බිම ලෝකය හරිම අපුරුයි, පුදුම සනීපයක් දැනුනේ ඒ දවස් වල


ඔයාලට කියන්න මොකද මම මේ දේස දීපන්කරේ එන්ට කලින් සති අන්තයක ගෙදර ගියාමත් එහෙම තමයි ඕන්

තේ ගස් අතරේ නිදාගෙන හිටපු දවස් නැතුවම නෙමෙයි, ඒ ලෝකය පුංචි උනාට පුදුම අපුරුවක් තියෙන්නේ


ඔන්න ඔහොම අපි දෙන්නත් එක්ක ගොඩක් වෙලා ඉන්නවා, මට වගේ නෙමෙයි මලයට එහෙම ඉන්න තරම් හිතේ එක්කාසුවක් නැහැ, ඌ පොඩි එකා නොව ටික වෙලාවකින් ඌ යන්න යනවා, 

මෙහෙම පැය ගණන් ඉන්නකොට එතන ඉන්න දෙමලිච්චන්ටත් අපි ගැන වගේ වගක් නැති වෙලා යනවා, උන් නිදහසේ පැන පැන කොළ රොඩු අවුස්ස අවුස්සා කෑම හොයනවා 


ඔන්න ඔහොම මම තනි වෙච්චි වෙලාවක මගේ හිතේ මහා කාලකන්නි හැගීමක් ඇති වෙලා අතට ගත්තු කැටපෝලෙන් ගල් කීපයක් විද්ද එතන හිටිය දෙමලිච්චන්ට 

රූන්  ගාල ලඟින් පියඹල ගියා ගල් කීපය අතුරින් එකම එක ගලක් එක දෙමලිච්චේකුගේ ඇඟේ වැදුනා


කිසිම සද්දයක් බද්දයක් නැතුව ඌ නිශ්චල වෙලා, මමත් එක පාරටම ටිකක් බය වුනා.

මේ වෙලාවේ මගේ හිතේ ඇති වෙච්ච කාලකන්නි කම කියන්නේ මම තව පාරක් ඒ වැරැද්දම කලා

මම ගැන විශ්වාස කරපු දෙමලිච්චෝ ඒ වෙලාවෙවත් මං ගැන සැක කලේ නැහැ, උන් දිගටම කෑම අහුල අහුලා ඉස්සරහට ගියා

නැති වෙච්ච සගයෝ දෙන්න එක පාරටම කිසි සද්දයක් බද්දයක් කලේ නැති නිසා එයාලට මුකුත් සැකයක් ඇති නොවෙන්නත් ඇති 

එක දවසක අහිංසක කුරුල්ලෝ දෙන්නෙක්ම.....


ඔහොම කාලයක් යද්දී මම කැටපෝල සෙල්ලමේ හොඳ ඉලක්ක කරුවෙක් උනා, කටපොලේට ටීක් බෝල දාල විදින්න, නම දන්නේ නැති කොළ පාට පොඩි ගෙඩි වර්ගයක්  කඩාගෙන ඇවිත් ඒවා දාල දුර විදින්න, මේ වගේ නොයෙකුත් වැඩ කළා...
පස්සේ පස්සේ ඔය සිද්ධිය මට අමතක වෙලා ගියා,

ඊට අවුරුද්දකට වගේ පස්සේ දවසක හවස් වරුවක අපි බට්ටිච්චෝ කියල කියන පුංචිම පුංචි කුරුල්ලෝ කීප දෙනෙක් පහළ තියෙන පොඩි දෙහි ගහක එහෙට මෙහෙට පැන පැන සින්දු කියනවා මම බලාගෙන හිටියා 
ඒ දෙහි ගහට අපුරුවට රාස්සිගේ අව රැල්ලක් වැටිලා තිබුනේ.
හරිම ලස්සන හැන්දෑවක්


අනේ... මේ වෙලාවෙත් මගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයා එළියට ඇවිත්

කීප වතාවක්ම උත්සාහ කලත් උන් පුංචි වැඩි නිසා මට හරියට ඉලක්කෙට විදින්න බැරි උනා.

ඒත් මගේ කරුමෙට අන්තිමට විදපු ගලක් ඒ පුංචි කුරුල්ලෙකුට වැදුනා.
මට ඒ වෙලාවෙත් අර එදා දැනුනු හැගීමම දැනුනා, ටික වෙලාවක් බලන් ඉඳලා..

පස්සේ කාටවත් පේන්නේ නැතුව හොරෙන්ම පහළට බැහැල ගිහින් ඒ පුංචි කුරුල්ලව අතට අරගෙන බැලුවා

ඌට කිසි තුවාලයක් වෙලා නැහැ, ඒත් මුළු ඇඟම ගල් ගැහිලා පුංචි කකුල් දෙක ගල් වෙලා මගේ අත උඩ ඌ හිටියේ...


මට පුදුම දුකක් ඇති උන මම කරපු කාලකන්ණි වැඩේ ගැන, මේක ලියද්දිත් මගේ කාමරේ එකට ඉන්න යාලුවට පෙන්නේ නැති වෙන්න කී පාරක්නම් මම කඳුළු පිහිදාන්න ඇත්ද...
එතනින් පස්සේ මම ආයේ කවදාවත් කැටපෝල විද්දේ නැහැ. ඊට ගොඩ දවසකට පස්සේ මම දැක්ක මම අච්චර ආදරය කල කැටපෝලය අව්වට වැස්සට තෙමි තෙමි එළු හම දිය වෙලා ගිහින් ජරාජීර්ණ වෙලා තිබුනා


අන්තිමට දෛවයේ සරදමක් කියල කියන්න පුළුවන් විශේෂ දෙයක් සිද්ද උනා මගේ ජීවිතයට 
නමුත් ඒක සිද්ධ උනේ මට වයස 25 ක් වගේ වෙද්දී, 
හදිස්සියේ දවසක මම ගෙදර යන්න යන ගමන්, ගෙදර නොගිහින් වෙන ගමනක් යන්න මට සිද්ධ වුනා. ඒ ගමන ගියේ යාළුවන්ගේ බල කිරීමට වගේ. ඒක දවස් 3 ක චාරිකාවක්. සාමාන්‍ය ට්‍රිප් එකක් නෙමෙයි, වැදගත් අරමුණකින් ගිය පාරිසරික ගවේෂණයක් ඒක.

ඒ වුනාට ඒකෙන් පස්සේ මම ගොඩක් වෙනස් මනුස්සයෙක් වුනා 
කුරුල්ලන්ට සතා සීපාවට අසීමිතව ආදරය කරන්න පුළුවන් කමක්, උන් ගැන දැනගන්න, අධ්‍යනය කරන්න ආසාවක් ඇති වුනා.
ඉස්සර ඉඳල මගේ ඇඟේ හැංගිලා තිබුණු පරිසරය විඳීමේ ආසාව නැවත වර්ධනය කර ගන්නත් මට පුළුවන් වුනා
ඒකෙන් පස්සේ මම ජායාරුපකරණය පැත්තටත් වැඩිපුර යොමු වුනා,  2008 වසරේ වනජීවී අංශයෙන් මම ඉදිරිපත් කරපු ජායාරුපයකට තෙවන ස්ථානය හිමි වුනා.  ඒකෙ හිටියේ ලස්සනම ලස්සන පුංචි කුරුල්ලෙක්.
2009 වසරේ මගේ ජායාරූපයකට පළමු ස්ථානයත් හිමි වුණා. මේ තියෙන්නේ ඒ ෆොටෝ දෙක.


2010 වසරේ මම ගත්තු ජායාරුප කිහිපයක් ලංකාවේ රජයේ දුරකථන සමාගමේ කැලැන්ඩර් එකේ පිටු කිහිපයකුත් සැරසුවා.
පස්සේ පස්සේ මම පිස්සුවෙන් වගේ තමයි වනජීවිතයට ආදරේ කලේ.
දැනට වනජීවින් සම්බන්ධව පරිවර්තනය කර ඇති පොත් පත් සියල්ලම වගේ මගේ ගාව තියෙනවා, ඊට අමතරව අපේ රටේ ලේඛකයෝ ලියපු ඒවත් 

මේ කිසි දෙකින් මම කරපු වැරදි වහගන්න ලැබෙන්නේ නැහැ කියල මම දන්නවා. මොනවා කරන්නද.

2010  දී  මගේ සියලුම කැමරා ආම්පන්න විකුණා දමා අලුත් රස්සාවක් හොයාගෙන මම විදේශගත වුනා. අදටත් මම ලංකාවට ගියහම කොහේ හරි කැලයකට ගිහින් දවස් ගානක් ගත කරලා තමයි එන්නේ.


අනේ පුංචි කුරුල්ලනේ මට සමා වෙන්න. මේක බලන ඔයාලත් මට සමා වෙන්න මෙච්චර නරක වැඩක් කලාට.
මේක හැමදාම හිතේ දරාගෙන ඉන්න බැරි නිසයි මෙහෙම පාපොච්චාරණය කලේ 





18 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මහ නපුරෙක් නෙ පොඩි කාලේ...මගේ අයියා කෙනෙක් වෙලා උන්න නම් දෙනවා ටොක්කක් ඔළුව හිල් වෙන්න...අර සත්තුන්ට කැට පෝලෙන් විද්ද වෙලේ....

    ඉස්සර කොල්ලන්ට ඔය කැට පෝල, උණ බට තුවක්කු, ටයර් කාර් වගේ ඒවා මහා ලොකු දේවල් ...මහා ලොකු නිර්මාණ...ඒකෙන් ඒ අය මොන තරමක් විනෝද උනාද...

    ඒකටත් එක්ක දැන් අය...උණ බට තුවක්කු හදන්නත් කලින්ම ඇත්ත තුවක්කු අත පත ගානවනෙ...ඉතින් කොහෙන්ද මේ වගේ සුන්දර ළමා කාලයක්....

    ReplyDelete
  3. @දිල්
    හපොයි...ඔයා මගේ නංගා කෙනෙක් වෙලා හිටියනම් ඉතින් මලා තමයි එහෙනම්
    මට ටොකු කාල ඉවරයක් නැති වෙයි
    මම මේ කරපු දේ අපේ ගෙදර කවුරුවත්ම දන්නේ නැහැ බ්ලොග් එක බලන ඔයාල ඇරෙන්න
    අඩු ගානේ එකට සෙල්ලම් කරපු මලයවත් දන්නේ නැහැ

    ReplyDelete
  4. ඕක මොකද්ද බං .. මම කාලයක් දඩයමෙත් ගියා . තනියම නෙවේ ගමේ එවුන් එක්ක . දැන් නම් මට ඒ ගැන තියෙන්නේ ලොකු පසුතැවීමක් විතරයි ..

    ReplyDelete
  5. @ හිස් අහස
    පසු තැවීම වැඩි මම දැන් උන්ට ආදරේ කරන නිසා වෙන්න ඇති බන්...
    මමත් වතාවක් ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ ගෙදරට හොරෙන් දඩයමේ යන කට්ටියක් එක්ක ගියා...
    මමයි මගේ යාළුවෙකුයි තව අපේ පැත්තේ ප්‍රසද්ධ දඩයක්කාරයෙකුයි. අපි දෙන්න දෙල් කොළ ගාලේ හරක් යනවා වගේ යද්දී මොන සත්තුද
    අපි කලේ මැද ගොඩක් දුර ගිහින් ආපහු හැරිලා ආවා, හුනෙක්වත් දකින්නේ නැතුව
    ඒක එහෙම වෙච්ච එක හොඳයි

    ReplyDelete
  6. අනේ මලේ..මොකදෑ ඒ කොලේ...

    මොනව උනත් අර පින්තූර දෙක නම් ජාති.... මං ආසම අර පුංචි කුරුල්ලා ඉන්න එකට.... මටත් පින්තූරවලට හොඳ ඇහැක් තියෙනවා... එත් තවම ආස කරන ජාතියේ කැමරාවක් නම් ගන්න බැරි උනා... අවම පහසුකම් යටතේ ගත්තු හොඳ පින්තූර ටිකක් මටත් තියෙනවා... photography කියන්නෙ මගේ හීනයක්...
    මල්ලි එහෙනම් තෑගි දිනපු කෙනෙක්... අපි සලකනව මදිනෙ මල්ලිට....ඔය දෙයියො දීපු talent එක නම් මග අතහරින්න එපා...

    ජය වේවා කිව්ව ඕං....

    ReplyDelete
  7. @ Miyuru
    අක්කේ ඒකයි මම මුලින්ම කිව්වේ මට සමා වෙන්න කියලා

    බොහොම ස්තුතියි මගේ ෆොටෝ වලට කැමතියි කියපු එකට සහ සුබ පැතීමට
    මේක තමයි මම දැන් ආසම දේ, ඉතින් මම මේක අත්‍අරින්නේ නැහැ අක්කේ
    photography කියන්නේ ටිකක් වියදං අධික විනෝදාංශයක්නම් තමයි. පොඩියට පොඩියට උනත් පටන් ගන්න බැරි කමක් නැහැ.
    අක්කත් ඉක්මනට හීනේ හැබෑ කර ගන්න.
    දැන් ආපහු ලංකාවට යන්න කලින් කැමරා එකකුයි ලෙන්ස් කීපෙකුයි ගන්න ඕනේ, දැන්ම ඉඳල ඒවා ගැන මම හොයල බලල තියෙන්නේ
    (මගේ හිතේ තියෙන නියම කැමරා හීනේ හීනේ සැබෑ කර ගන්නනම් බැංකුවක් කඩලවත් බැරි වේවි)

    ReplyDelete
  8. කියන්න අමතක උනානෙ...අර පින්තූර දෙක නම් කියලා වැඩක් නෑ..ඔය " ඇහැ" හැමෝටම පිහිටන්නෙ නෑනෙ...අපතේ අරින්න එපා..

    ReplyDelete
  9. ම්....අපි ලොකුවෙනකොට පුංචි කාලේ කොරපු මොඩ කං තෙරෙන්ට ගන්නව තමා බං...අර දිල් කිව්ව වගේ ඔය ටයර්,උණ බට..වගේ දේවල් එක්කනේ අපි ජිවත් උනේ...සත්තුන්ට විදින්ට බැරිඋනත් මාත් ඔය උන බට තුවක්කු හදන් සෙල්ලං කොලා.... ගම අතුලට වැදුනම කොහෙන් එලියට එනවද කියලා අපිම දන්නැ ඒ කාලේ...මට මතකයි මගේ සීයා ගාව ලොකු කැට පොලයක් තිබ්බා..හබැ..සීයා ඔක තියන් හිටියේ අඹ ගස්වලට එන කුරුල්ලො වඳුරො එලවන්ට...
    ලොක්කො....උඹ වනසතුන් බලන්ට කැමතී බව ඇහුවම සංතොස හිතුනා මොකැ නිවාඩුවක් හම්බුනාම මාත් කොරන්නේ වඩිපුර කැලැ පීරන එක...

    ReplyDelete
  10. @ දිල්
    බොහොම ස්තුතියි අගය කිරීමට....

    ReplyDelete
  11. @ Raj
    මටත් උඹ වගේ කැලෑ පීරන්නෙක් අඳුන ගන්න ලැබීම ගැන සතුටුයි
    ඒ කියන්නේ කවද හරි අපි දෙන්න කොහේ හරි කැලෑවකදී හම්බ වෙන්නත් ඉඩ තියෙනවා...

    ReplyDelete
  12. අපේ අයියත් ඔය වගේ වැඩ කලා.එයා දවසක් ලේනෙක් අල්ලලා ගෙදර ගෙනාවා. ඌ එක පාරටම හිටපු පෙට්ටියෙන් එළියට පැනලා ගේ ඇතුලේ දුවන්න ගත්තා. එහෙම ගිහින් බිත්තියේ තිබුණ ගුලක් ඇතුලකට ගියා. ඊට පස්සේ අයියා අත දාලා ඇද්ද පාර ඌගේ නැට්ට ගැලවිලා අතට ආවා අයියා ඒ වෙලාවේ අයියත් හොදටම බය වුනා. මං අඩ අඩ ලේනව රෙදි කෑල්ලකින් අල්ලගෙන මිරිස් වතුර ටිකක් ගාලා ඌ යැව්වා.ඊට පස්සේ නම් අයියා ඒවගේ වැඩ කලේ නෑ.
    පුංචි කාමට දග වැඩ කලත් කාලයත් එක්කම මිනිස්සු හැමදේම තේරැම්ගන්නවා නේද ලොකු...?

    ReplyDelete
  13. @ batti
    හ්ම්ම්... ඒකනම් ඉතින් ඇත්ත තමයි

    ලේනාගේ නැට්ට කැඩෙන එක උන්ගේ ආරක්ෂාවට සොබාදහමෙන් ලැබිල තියෙන ක්‍රමයක් නොවැ බට්ටියේ....

    ReplyDelete
  14. අනිවා..සෙට් වෙලාම යමු....

    ReplyDelete
  15. මාර පරිවර්තනයක්නෙ ඒක.
    පසු තැවිල්ලක් ඇතිවෙන්නෙ හිතක් පපුවක් ඇතිවුන්ට විතරයි බං.
    ඔය ලමයි කුණුබක්කි වලට විසි කරන උං ඉන්නෙ.

    හැබැයි ලොකු පුතා ෆෝටෝස් ටික නම් පට පට පට්ට.
    කියලා වැඩක් නෑ.
    ඔය කතාවෙන් මට හිතුනෙ.. ඔය ඩිජිටල් කැමරාවක් නෙවෙයි වගෙ නේද?
    තව එකක් මම ලොකු පුතාගෙ බ්ලොග් පෝස්ට් ඔක්කොම කියවල ඉවරයි. දන්නවද මම මේ උදේ ජොග් කරන්න ආපු ගමන් ඉස්කඔලෙට රිංගුව ඉන්ටනෙට් තියෙනවද බලන්න. (මගෙ ලැප්ටොප් එක කැඩිලා මාසයක් වෙනව.)
    මාර විදියට බඩගිනියි.
    දැන් ගෙදරින් මාව හොයනවත් ඇති.
    මේන් මං ගියා.
    henryblogwalker the Dude

    ReplyDelete
  16. @ Dude
    ඔව් ඒක ඇත්ත ලොකු පරිවර්තනයක් උනා මගේ ජීවිතයේ
    හොඳ පැත්තට වෙච්ච දෙයක් නිසා අද මම සතුටින්

    මගේ කැමරා එක Digital SLR (Canon) එකක්, අර දිග ලෙන්ස් අමුණන වර්ගයේ එකක්
    මම රට එද්දී ඔක්කොම විකුණලා ආවේ, දැන් ආපහු එකින් එක ගන්න කාලේ හරි

    අයියත් මාර වැඩනේ කරන්නේ, බඩගින්නෙම ඔක්කොම බලලා
    මමත් එහෙම තමයි, අද වැඩ නැහැ
    ඉතින් බෝඩිමට වෙලා ඉන්නවා, (උදේට කෑවේ රට ඉඳි ටිකකුයි කොට්ටම්බා ඇට ටිකකුයි)
    තව ටිකකින් දවල්ට උයන්න යන්න ඕනේ

    ReplyDelete
  17. පුංචිකාලෙ වැඩ ඔහොම තමා ඔව්ව ඉතින් නොතේරුම් කමට කෙරෙන වැඩ.
    කුරුලු පින්තූර ටිකනම් මල් හතයි. වැඩේ අතාරින්න එපා. ඒක අපරාධයක් එහෙම කරන එක.

    ReplyDelete
  18. @ readmyeye
    හ්ම්... ඒක ඇත්ත
    නැහැ මචං මම මේක අත අරින්නේ නැහැ, එච්චරට ඇබ්බැහි වෙලා ඉන්නේ. ආපහු ලංකාවට ආපු ගමන් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ

    ReplyDelete