2011 අවුරුද්දේ මගේ නිවාඩුවෙන් කොටසක් සිංහල අවුරුදු සමයේ ගන්න ඕනේ කියල මට හිතුනා. ඉතින් ඔක්කොම කටයුතු ලැස්ති කරගත්තු මම අප්‍රේල් පළවෙනිදා හරියටම ලංකාවට ගොඩ බැස්සා. (මේක බොරුවක් එහෙම නෙමෙයි, හොඳද.) මගේ එක පුරුද්දක් තමයි ලංකාවට නිවාඩු ආවට පස්සේ කොහේ හරි කැලෑවක ට්‍රිප් එකක් යන එක. ඉතින් මේ පාරත් ඒ පුරුද්දටම මම නිවාඩු එන්න මාස ගානකට කලින්ම දන්න කියන යාළුවෙකුට කිව්වා මේ පාර කොහේ හරි කෑම්ප් කරමු කියලා. මට යන්න පුළුවන් දවස් ටිකත් කලින්ම ඌට කියල තිබුනේ.
යාල කෑම්ප් කරන්න දෙනවනම් කෑම්ප් සයිට් එකක් බුක් කරන්න කියලත් කිව්වා. මොකද යාල කියන්නෙ මම කැමතිම තැනක්. යාල කෑම්පින් යමු කියපු ගමන් මේකාගේ ඔලුවට වැටිලා තියෙන්නේ යාල වනෝද්‍යානයේම කොටසක් වන "කුමන" ගැන. මුත් සමහර වෙලාවට නෙමෙයි ගොඩ වෙලාවට අප්ෂට් වැඩ කරන ජොකියෙක්.
ඔන්න මම ලංකාවට ඇවිත් බලද්දී මේකා කුමන "ඇදකුඹුක" කියන කෑම්ප් සයිට් එක රාත්‍රී දෙකකට බුක් කරලත් ඉවරයි.
මුගෙන් ඒ ගැන ඇහුවහම කිව්වේ "ඇයි xxxx අයියේ කුමනත් ඉතින් යාලම කොටසක්නේ, ඉතින් මම බුක් කළා" කියලා. ඉතින් කාට කියන්නද මේවා
සමහර විට මේකාගේ හිතේ ලොකු කැමැත්තක් තිබුනද දන්නෙත් නැහැ කුමනම යන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම ලංකාවට එද්දී කුමන යන ගමන ස්ථීර වෙලා තමයි තිබුනේ.
ඉතින් ඕනේ වෙඩිමක් කියලා හිත හදාගෙන අපිත් මේ ගමන යන්න හිත හදා ගත්තා. නැත්නම් ඉතින් මට මේ නිවාඩුවේ කොහෙවත් යන්න වෙන්නෙත් නැහැනේ. අනික මීට කලින් මමත් කුමන ගිහින් නැහැනේ.
කුමන යන්න මගේ එච්චර කැමැත්තක් තිබුනේ නැත්තේ ගමනේ දුර වැඩිකම සහ දුෂ්කර බව ගැන දැනගෙන හිටපු නිසා මිසක් කුමනට ඇති වෙන අකමැත්තක් හින්ද නෙමෙයි ඕං...
මෙන්න මේ නිසා තමයි මම මේ ගමනට "වැරදීමකින් ගිය කුමන චාරිකාව" කියලා නම දැම්මේ.
මම ලංකාවට ආවේ අප්‍රේල් 1 කියල කලින්ම කිව්වනේ, ඉතින් මේ ගමන යන්න කලින් වාහනේ පොඩි පොඩි අඩුපාඩු(හොඳ පොඩි) ටිකක් හදා ගන්නයි, අමතර සීට් එකක් ගහ ගන්නයි මට දවස් ගානක්ම කට්ට කන්න උනා. අපි ට්‍රිප් එක යන්න දවස් වෙන් කරගෙන තිබුනේ අප්‍රේල් 9,10,11 දවස් තුන.
ලංකාවට ඇවිත් අනිත් මිනිස්සුනම් ගෙවල් දොරවල් වලට වෙලා බොහොම සාමයෙන් සමාදානයෙන් හිටියත් මටනම් මේ දවස් වලට දවල්ට කන්නත් නැහැ, සමහර දවස් වලට ගැරේජ් වල මිනිස්සු උයල දෙන බත් කාපු දවසුත් තිබුනා.
අපේ එක සිරිතක් තමයි අපි ගමනක් යන්න පිටත් වෙන්නේ මහා රෑ. එහෙමත් නැත්නම් ඊට කලින් දවසේ හවස. එතකොට කිසි කරදරයක් නැතුව අදාළ ස්ථානයට යන්න පුළුවන් පාන්දර වෙද්දී.
ඔන්න ඔහොම ගිහින් යාන්තම් 8 වෙනිදා හවස 02:30 වෙද්දී වැඩ ටික ඉවර කර ගත්තා. ගමනට අවශ්‍ය අඩුම කුඩුම ටික උදේ ගෙදරින් එද්දිම වාහනේට පටවලාමයි තිබුනේ, ඔන්න මම දැන් කෙලින්ම කොළඹ දිහාවට පිටත් වෙන්න ගත්තා. මේ කියන දවසෙත් මගේ මායියා වැඩ, ඉතින් කොළඹට ගිහින් එයාවත් කුදලාගෙන ඊට පස්සේ එයත් එක්ක තව ඇඳුම් කැඩුම් ගන්න ප්‍රසිද්ධ කඩේකටත් යන්න එක්ක තමයි මම එදා ටිකක් කලින් ගියේ. කොහොමටත් කුමන යන්න මම කොළඹ දිහාවට යනවා කියන්නෙ පරංගියා කෝට්ටේ ගියා වගේ ගමනක්. කිලෝමීටර 80 ක් කොළඹට බඩගාල ඊට පස්සේ ආපහු යන්නත් එපායැ. ඒත් ඉතින් කට්ටිය එක්කාසු කර ගන්න කොහොමටත් කොළඹ එන්න එපායැ.
මේ දවස් වෙද්දී ඔය බම්බලපිටිය හරියේ තියෙන ඔය රෙදි කඩේ ඉන්න සෙනග සහ ඒකෙ වාහන පාර්ක් එකට වාහනයක් දාන්න තියෙන අමාරුව කොච්චරද කියල ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ. අන්තිමට ක්ලච් එක පාගලම මගේ කකුල හොඳටම රිදෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද හාමිනේ එක්ක අවුරුද්දට රෙදි ගන්න එනවා කියල පොරොන්දු උනානේ.
අන්තිමට එතනත් පැය 3, 4 ක් විතර කට්ට කාල රෙදිත් අරගෙන රෑ 09:30 ට විතර මගේ නෝනාගේ නවාතැනට ගියා. එහෙන් පොඩි වොෂ් එකක් එහෙමත් දාගෙන දෙන්නත් එක්ක එයාගේ බඩු මුට්ටුත් වාහනේට පටවාගෙන ගමනට අවශ්‍ය ඉතුරු ආහාරපාන ටික ගන්න Food City එකකට ගියා, දැන් ඒකත් හරි. ඊට පස්සේ කඩේකට ගිහින් අපි දෙන්නා පොඩ්ඩක් සප්පායම් වුනා.
මේ වෙද්දී අපිත් එක්ක ගමන යන්න ඉන්න අනිත් එව්වෝ දෙන්න හෝ ගාල කෝල් කරන්නත් පටන් අරගෙන තිබුනේ.
කොහොමින් කොහොම හරි අපි අපේ පළවෙනි සාමාජිකයා විදිහට වාහනේට පටවගත්තේ අර කියපු ජොකියව තමයි, ඒ බොරැල්ලෙන්. මිනිහගේ නම "xxx", මට වැඩිය අවුරුදු 4 ක් විතර බාල බුවෙක්. පොරට මම කලින්ම කියල තිබුනේ අර ලාෆ්ස් එකේ තියෙන පොඩි ගෑස් ටැංකිය එක්කම තියෙන ලිපකුත් අරගන්න කියලා,
මු පටලවගන්නේ නැතුව ඒ වැඩේනම් ගානට කරලා තිබුනා. මුගේ මාන්දම් වැඩ කියන්නෙ මුවයි මුගේ බඩු ටිකයි වාහනේට පටවගත්තට පස්සේ ඌ කියනවා බෝඩිමේ යතුර කාටද මන්ද අයිය කෙනෙකුට දෙන්න ඕනේ ආපහු පෑලියගොඩ යන්න ඕනේ කියලා.
@%&&*# වගේ වචන ගොඩක් හිතෙන් කියා කියා මමත් ඉතින් පෑලියගොඩ ගියා, ගිහින් උගේ වැඩේ ඉවරයක් කලා.
ඊට පස්සේ අංක දෙක. උගේ නම "අලයා", ඌව ගන්න අපිට මල්වානේ යන්න වුනා, එහේ යන්න හේතුව උනේ මල්වානේ ගෙවල් තියෙන "කුරූ" කියන යාළුවගේ ගෙදරින් තමයි අපි ටෙන්ට් ටික අරගෙන යන්න තීරණය කලේ. ඒ දවස් වල ඌ වැඩ කලේ වැල්ලවායේ,
ඉතින් උන්ගේ ගෙදරට යද්දී වෙලාව රෑ 12:30 ට වගේ ඇති. ලොකු කට්ටක් කාල ඔය ගමනත් ගිහින් එතන තිබුන බඩුමුට්ටු ටිකත් පටවාගෙන අපේ ට්‍රිප් එක නීත්‍යානුකුලවම යන්න පිටත් වුනා. දැන් අපේ අන්තිම සාමාජිකයා ඒ කියන්නෙ කුරූ ඉන්නේ වැල්ලවායේ.
එදා හවස 02:30 ට පටන් ගත්තු ගමන මම එක දිගටම තනියම ඩ්‍රයිව් කලේ, මට දැන් මාර මහන්සියිත් එක්ක. අර උගුඩුවො දෙන්නට ලයිෂනුත් නැහැ.(අතින් සල්ලි දාල හරි මුන්ට ලයිෂන් අරන් දෙන්න වටිනවා කියල හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට) ඉතින් මොකද කරන්නේ තනියම තරමක් හිමීට ගමන ගියා.
අපේ ගමන් මාර්ගය විදිහට අපි තෝරාගෙන තිබුනේ
කොළඹ > රත්නපුරය > තණමල්විල(උඩවලවේ හරහා) > වැල්ලවාය > බුත්තල > මොණරාගල > සියඹලාණ්ඩුව > පොතුවිල් > පානම > ඔකඳ හරහා කුමන.
අපි රත්නපුරේ හරහා යන ගමනක් යනවනම් කවදාවත් කොළඹ ඉඳල වතුර අරගෙන යන්නේ නැහැ. රත්නපුරේ පහු වෙලා ටික දුරක් යද්දී කහවත්ත හරියේ දකුණු අත පැත්තේ තියෙනවා හොඳ වතුර උල්පතකින් එන වතුර ගන්න පුළුවන් තැනක්. වතුර එකතු වෙන්න ටැංකි එහෙම බැඳලා ටැප් හයි කරලා තියෙන්නේ. ගොඩක් වාහන මෙතන නතර කරලා නොමිලේ එන පිරිසිදු වතුර පුරවා ගන්නවා භාජන වලට.
අපිත් ඉතින් වෙනදා වගේම මෙතනින් වතුරත් පුරවා ගත්තා අපි ගාව තිබ්බ ලොකු බැරල් එකට, මුණ කටත් හෝදගත්තා නිදිමත යන්නත් එක්ක.
තව අතරමග තැනකදී වාහනේ නතර කරලා තේ එහෙමත් බිව්වා.
මේ විදිහට මුළු රෑ පුරාම ගමනේ යෙදුනු අපි වැල්ලවාය හරියට සේන්දු වෙද්දී උදේ 05:30 වගේ වෙලා තිබුනා. (ඉන්නම බැරි වෙච්ච වෙලාවක ජීප් එක මග නතර කරගෙන පැය බාගෙක වගේ නින්දකුත් දැම්මද කොහෙද) මේ වෙද්දී මට පුදුම මහන්සියක් දැනිල තිබුනේ. එකම එක වතාවක් පාරේ දකුණු පැත්තට වාහනේ ඇදිල ගියා වගේත් මතකයි. ඒත් ඒ හරියේ පාර හරි කෙලින් නිසා කරදරයක් උනේ නැහැ, අනික මේ මලපාන්දර වෙන වාහන මුකුත් පාරේ ආවේ නැහැ, වාසනාවට.
ඇයි අප්පා එක දිගටම පැය 17 ක් 18 ක් වාහනයක් එලෙව්වහම කොච්චර සනීපද. කවදාවත් මෙච්චර වෙලා එක දිගට වාහනයක් එළවලා තිබුනේ නැහැ මම.
වැල්ලවායේදී අර යාළුවගේ ඔෆිස් එකට ගිහින් හොඳ නින්දක් දැම්මා ඇඟේපතේ අමාරුව නිසාම. ආපහු ඇහැරෙනකොට උදේ 09:00 යි. ආ... කියන්න අමතක වුනා. මුගේ ඔෆිස් එකේම තමයි මුන් නිදා ගන්නෙත් උයාගෙන කන්නෙත්.
මම ඇහැරෙද්දි අපේ යාළුවා සරමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන ඔෆිස් එකේ වැඩ වගයක් කරනවා මම ඇහැරෙනකන්. අපි මලපෙරෙතයෝ වගේ කොට කලිසන් කෑලි ටී ෂර්ට් එහෙම ඇඳගෙන නිදිමත පෙරී පෙරී ඉන්න අතරේ ඒ ඔෆිස් එකේ මිනිස්සු රාජකාරියේත් යෙදෙනවා. ඒකනම් පුදුම ඔෆිසියක් තමයි. ඒ වෙද්දී යාළුවගේ ඔෆිස් බෝයි තේ එහෙම හදල තිබුනා අපිට බොන්න, ඒවා බීපු අපි උදේට කන්න දෙයක් හොයාගෙන පිටත් වුණා. කුරූ ගොඩක් දවස් වලට කන තැනක් කියල කියපු නිසා වැල්ලවාය කිට්ටුවම කඩේක නතර කලා.
පාන්, ඉඳිආප්ප, බත් සමග හොදි සැපයෙන අතරේ මම දැකල පුරුදු මුණක් දෙකක් එහෙමෙහෙ වෙනවා දැක්කා. බලනකොට ඒ අපේ ගමේ හිටපු අයියා කෙනෙක්, අපේ අක්කගේ පන්ති සගයෙක්. එයාලා මෙහේ ඇවිත් පවුල පිටින්ම නතර වෙලා කඩයක් කරගෙන ඉන්නවලු. ඉතින් ආගිය කතා කතා කොරලා කාල බීල එහෙම එතනින් චුත වුනා.
අර රෙදි ගන්න ගිය වෙලාවේ ක්ලච් එක බාගෙට පාගලමද කොහෙද ක්ලච් එකේ පොඩි හිර ගතියක් ඇවිල්ල තිබුනා මේ වෙද්දී. ගියර් දාන්න යද්දී පොඩ්ඩක් දඟලන්න වෙනවා. ඉතින් ඒකත් වැල්ලවායෙන්ම හදාගෙන යමු කියල අපි කතා වුනා. සියල්ලම නැතත් සියල්ලටම ආසන්න ප්‍රමාණයක් දත් බාස් උන්නැහේ කෙනෙක් තමයි ඒ ගැරේජ් එකේ අයිතිකාරයා. එක එක කතන්දර කියලා, "ක්ලච් එකට හුළං ඇදලද කොහෙද" කියල මොන මොනවද කරලා අඩු වෙලා තිබ්බ ඔයිල් ටිකකුත් දැම්මා. උදේ පාන්දරනේ මල්ලි, රු.600/- ක් දෙන්න කියලා සල්ලිත් ගත්තා, චෝයි අයියා.... මොනවා වුනත් වැඩේ ගොඩනේ, ඒ ඇති.
අන්තිමට ඔන්න ඔහොම ගිහින් පොතුවිල් වලට සේන්දු උනා. එතනින් මාළු එහෙමත් අරගෙන තව අවශ්‍යකරන අඩුම කුඩුම ටිකකුත් අර ගත්තා. ආ... තව ඩීසල්, ඒවත් ෆුල්ම ගහගත්තා. වෙනදට වාහනේක යද්දී මගදිගට වංහුං බල බල යන මට එදානම් වැඩිය දෙයක් බලා කියා ගන්න බැරි වුනා. ඒත් ආරුගම්බේ හරියේදී පොඩ්ඩක් වාහනේ වේගේ අඩු කරලා පොඩ්ඩක් වටපිට බැලුවා, ගිනිගහන අව්ව ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ. බැහැල නාමුද කියලා අපේ යාළුවගෙන් යෝජනාවක්, සහ අනිත් අයගෙන් සරදම් සිනා.....
ඊට පස්සේ දෙයියනේ කියලා යන්තම් කුමන ඇතුල්වීමේ ගේට්ටුව දැක්කට පස්සෙ තමයි පොඩි සහනයක් දැනුනේ. එතනම තිබ්බා හමුදාවේ කෑම්ප් එකක් සහ හමුදාවෙන් පවත්වාගෙන යන වෙළඳසැලකුත්.
අපි යද්දී ආසන්න පාසලක ළමයි පිරිසකුත් කුමන නරඹන්න ඇවිත් හිටියා, එයාල පාර්ක් එක ඇතුලට ගියේ කුලියට ගත් ජීප් වල. ඒගොල්ලෝ එදාම ආපහු යනවලු. නමුත් අපේ සුදානම අපේ ජීප් රියෙන්ම මේ ගමන යන්න. නැත්නම් දවස් තුනක ගමනට කීයක්නම් කියල ගෙවන්න වෙයිද ජීප් එකකට.
(දැනට පාර්ක් එකක් ඇතුලේ දවසක ට්‍රිප් එකක් යන්න රු.7000/- ක් හෝ ආසන්න ගානක් ගන්නවා ජීප් එකක්, රෑ නතර වෙන්න ගාන තවත් වැඩිද දන්නේ නැහැ)
අපිත් එක්ක පාර්ක් එක ඇතුලට යන්න ආවේ බොහොම තරුණ මාර්ගෝපදේශකතුමෙක්. නමින් අජිත් වගේ තමයි මට මතක. ඔහුගේ දුරකථන අංක කිසිවක් දැන් මගේ අතේ නැහැ.
දැන් ජීප් එක ඇතුලේ මම, මගේ හාමිනේ, කුරූ, අලයා, අපේ යාළුවා සහ ගයිඩ්. අපි 6 දෙනයි. අපේ ජීප් එක කොට වර්ගයේ එකක්, ඉතින් 6 දෙනෙක් කියන්නෙ කට්ටිය ටිකක් හොඳට පැක් වෙලා. බඩුමුට්ටු තොගේකුත් තියෙනවනේ.
අපි ඔන්න දැන් ඇද කුඹුක බලා හිමීට ඇදෙනවා. අතරමග මාර්ගයනම් ගන්නම දෙයක් නැහැ. ඒත් ඉතින් රෝද හතරෙන්ම බලගැන්වෙන ජීප් එකකටනම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
මෙන්න පාරේ හැටි, ඇත්තටම මේ ගොඩක් හොඳ හරියක් |
අපේ හිත් වලටත් දැන් පොඩි බයක් වගේ ආවා, දැන් ඉතින් අපිට ඉන්න වෙන්නේ තුවක්කුත් අරගෙන පැනල ගිය එව්වෝ දෙන්නෙක් ඉන්න කැලෑවක නේද කියලා. අඩු ගානේ මේ පලාතකවත් ෆෝන් වලට සිග්නල් නැහැ කරදරයක් උනත් කාටවත් දැනුම් දෙන්නවත්. කොහොමින් කොහොම හරි අපි තවත් ඉස්සරහටම ගියා.
ඇද කුඹුක කිට්ටුවම වගේ තිබුන මහා මඩවලවල් කිහිපය සහ ඇළ මාර්ගය තරණය කරද්දිනම් මගේ බඩ පපුවත් පිච්චිලා යන ගතියක් දැනුනා. මහ වැස්සට කලින් වාහන ගිහින් හැදිච්ච කානු දෙකක් වගේ තියෙන පාරක් දිගේ අපි දැන් ඉස්සරහට ඇදෙනවා. සමහර තැන් වල නියම පාරේ යන්න බැරි නිසා කැලේ ඇතුලෙන් හදාගත්තු අලුත් පාරවල් වල තමයි යන්න වෙන්නේ. ඒ පාරවල් හරියකට හදපු ඒවා නෙමෙයි, පොඩි පොඩි ගස් කපා දාපු ඒවායේ උල් කොට කෑලි එහෙමත් තියෙනවා. එව්වයින් එකක් කොයි වෙලාවේ ටයර් එකක් හිල් කරයිද කියන බය හැමතිස්සෙම මගේ හිතේ හොල්මන් කරනවා.
පහුගිය දවස් ටිකේ වැහැලා මේ දවස් වෙද්දී නතර වෙලා කියල තමයි අපිට ගයිඩ් කිව්වේ. ඒත් ඉතින් හැමතැනම වතුර පිරිච්ච ලොකුම ලොකු මඩ වලවල්.
කොහොමින් කොහොම හරි ඇද කුඹුකට ගියාට පස්සේ තමයි හිතට සහ ගතට පුදුම සනීපයක් දැනුනේ. ගියපු ගමන් මුලින්ම කලේ දවල් කෑම හදන එක. කුඹුක්කන් ඔයේ වතුරෙන් හාල් එහෙම හෝදලා දුන්නේ කුරූ. මම මාළු කපලා මාළු හොද්ද හැදුවා. අල ටිකක් තම්බලා බැදුමක් හදන එක මගේ හාමිනේ. මේ වැඩ ටිකට ඕනෙනං වැඩිම උනොත් පැයක් යන්න ඇති.
අපි බත්, හොදි ටික හදනකම් අලයා, අපේ යාළුවා, කුරූ, ගයිඩ් මල්ලිත් එක්ක එකතු වෙලා ටෙන්ට් දෙකක් ගහල ඉවර කලා. එකක් සම්පුර්ණයෙන්ම ගහල ඉවර කලා, අනිත් එකේ උඩින් දාන රෙද්ද(ඒකෙ නම Fly Over එක වගේ තමයි මතක) දැම්මේ නැහැ. ඒක අරගෙන බිම එලාගෙන අපේ විවේක ගන්න ස්ථානය හදා ගත්තා.
ඊට පස්සේ බත් කන්න කලින් ඔයේ බැහැල පොඩ්ඩක් නා ගන්නත් කට්ටිය අමතක කලේ නැහැ.
බත් එක කන්න ගියාට පස්සේ තමයි අපිට තරු පෙනුනේ. බත් එකේ බත් වලට වැඩිය අහුවෙන්නේ වැලි. අරූ හාල් හෝදද්දී හාල් භාජනේ කෙලින්ම ඔයේ ඔබල තමයි හෝදලා තියෙන්නේ. ඒ හරියේ වතුර පාරේ සැරට වතුරත් එක්ක වැලි ගහගෙන යනවා. එහෙම ආපු වැලි හාල් එක්ක කලවම් වෙලා. දැන් කාපංකෝ වැලි.
දවල්ට බත් සහ වැලි එහෙම කාලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න වෙලාවේ "අපේ යාළුවා" මගෙන් අහනවා "එහෙනම් අපි හවස් වෙලා පොඩ්ඩක් ඇවිදින්න යමු" නේද කියලා. මේ වෙද්දී මට වාහන පැදිල්ල එපා වෙලා තිබුනේ, ඒ මදිවට අපි ඉන්න තැන ඉඳලා ආපහු යන්න තියෙන අමාරුව. මේ කියන තැන තියෙන්නේ පාර්ක් එකේ කෙළවරේම. සත්තු බලන්න හරි වෙන වැඩකට හරි පාර්ක් එකට යනවනම් යන්න එන්න වෙන්නේ මේ භයානක පාර දිගේමයි. ඇත්තටම කිව්වොත් ඒක පාරක් නෙමෙයි කානුවක්. ඉතින් ඔය පාර දිගේ ආපහු කොහෙවත් යන්න බෑ කියල ඒ වෙලාවේ මට හිතුනා. ඉතින් එදා දවස කොහෙවත් නොගිහින් විවේක ගන්න අපි එකඟ වුනා.
හවස් වෙද්දී හතර අතේ ඇවිදලා ගිනි මැලයක් ගහන්න ඕනේ කරන දර කොටන් හොයාගෙන ඇවිත් ලොකු ගිනි මැලේකුත් ගැහුවා.
ඊට පස්සේ ටිකක් කලින්ම වගේ රාත්‍රී භෝජනය සුදානම කලා, රෑටනම් අර දවල් වෙච්ච වැරැද්ද වෙන්න ඉඩ තිබ්බේ නැහැ, අපි ගෙනිච්ච බේසමකට වතුර අරගෙන ඒවායින් හාල් ටික හෝදලා අරගෙන බත උයලා කරදරයක් නැතුව කෑවා.
ඊට පස්සේ ඉතින් ගිනි මැලයේ සහ ලන්තෑරුම් එළියෙන් ආගිය කතා සත්තු ගැන කතා සහ නොයෙකුත් වල්පල් කතා කර කර හිටියා නිදිමත එනකම්ම.
අන්තිමට මමයි, හාමිනෙයි, අලයයි, අපේ යාළුවයි එක ටෙන්ට් එකකත්, ගයිඩ් මල්ලි වාහනේත්, කුරූ අර එළියේ එළපු ටෙන්ට් රෙද්දෙත් නිදා ගත්තා. ඉතුරු ටෙන්ට් එකට බෑග් ටික එහෙම දාල තිබ්බා.
මෙන්න අපේ ඇදකුඹුක කෑම්ප් එක |
පහුවෙනිදා උදේ පාන්දරින්ම නැගිටලා බතක් එහෙම ඉව්වා දවල්ටත් එක්කම. උදේ වේල කාල ඉතුරු බත් සහ හොදි ටික හට්ටි මුට්ටි පිටින්ම ජීප් එකට පටවාගෙන ගමන පිටත් වුනා. ටෙන්ට් එකෙත් කිසිම වටිනා කියන දෙයක් තිබ්බේ නැහැ ඔක්කොම දා ගත්තා ජීප් එකට. කැලේ කියල නැහැ හොර හතුරෝ එන්නත් පුළුවන්නේ. අර පැනපු එවුන් දෙන්න උනත් එන්න බැරි නැහැනේ. ඒ මදිවට රිලව් එහෙම පැනලා බඩු මුට්ටු සීසීකඩ දාන වෙලාවලුත් තියෙනවා.
ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරන්න කලින් වතුර එහෙම අඩුපාඩු තියෙනවද බලන්න බොනට් එක ඇරියා. මෙන්න බොලේ වැඩක්, අර ක්ලච් එක හදපු මකබාස් මාර වැඩක්නේ කරලා තිබුනේ. ඌ මොනව හරි ඇණයක් තද කරන්න ගත්තු 20 යතුරක් බැටරි එක උඩ අමතක කරලා. හදිස්සියෙවත් වැල්ලවායේ ඉඳලා ඇදකුඹුකට ආපු ගමනේදී බැටරිය ෂෝර්ට් උනානම් අපිට මහකැලේ කොච්චර ලොකු චාටර් එකක්ද කන්න වෙන්නේ. ගමනේ මුල් හරියේ ආපු වේගෙටත්, පස්සේ පස්සේ ආපු පාරේ තිබ්බ වලගොඩැලි වල හැටියටත් එහෙම දෙයක් උනේ නැහැ කියන එකත් මාර පුදුමයක්. බාස් අයියට හිතින් බැනබැන වතුර ඔයිල් එහෙම බලලා ගමන පටන් ගත්තා.
මෙන්න එදා දවසේ ගත්තු මුල්ම ජායාරූප ටික
ලතුවැකියා - Painted Stroke |
අලියා - Elephas maximus maximus |
ලතුවැකියා - Painted Stroke |
අළු කොකා - Grey Heron |
...........................................................................................................
ඒ කතාව ඉතිරි කොටසින් කියවමු
ලස්සන පින්තුර ටික...කවදාහරි අපිත් යන්න ඕන කුමන කෑම්පින් :) යාල වන උද්‍යානයට මමත් හරිම කැමතියි..අපි පොඩි කාලේ හිටියේ ටිකක් යාල ට කිට්ටුවෙන්. එහෙං ආවත් හරි ඒ පැත්තේ යැවුනේ නැහැ...
ReplyDeleteමම නම් තාම කැලේකට ගිහින් කෑම්ප් කරගෙන ඉඳලා නෑ...වෙන්න මහත්තයා නම් රුසියා...කට්ටිය එකතුවෙලා කැලේ වැදීම සීසන් 1,2,3 කිය කියා පහුගිය දවස්වල කැලේ රිංගුවා...
ReplyDeleteඒකත් හරි අපූරු අද්දැකීමක් නේද බලාගෙන යද්දී...
මම නම් ආස අලි බලන්න..ඒත් ඉතින් වෙන්න මහත්තයා නම් කියන්නෙ මාත් එක්ක කැලේ ගියොත් ජීවිතේට අලි බලන්න වෙන එකක් නෑලු...ඇයි ඉතින් අලියෙක් දැක්ක ගමන් බය වෙන හන්දා... දැන් නම් වැඩ්ඩා වගේ ..." පිස්සුද මම බය නෑ..අනේ අපි යමුකෝ " කිව්වත්...හි හී හී ගියාට පස්සේ හූ කියලා කැලේ බිඳගෙන දුවයිද දන්නෙ නෑ....
නියම චාරිකාවක් මචො..මමත් ඔය පැත්තේ යන්ඩ තමයි ඉන්නේ...ලොකුට කියන්ඩ මගේ තාත්තගේ ගුරු ජීවිතේ මුල් පත්විම ලැබිල තියෙන්නේ පානම ඉස්කොලේට...
ReplyDelete@ සයුරි
ReplyDeleteඒ වුනාට දැන් යාල යන එක එපා වෙනවා, සෙනග වැඩි නිසා. මේ ලඟදි කොටි පැටියෙක් මැරිලා තිබුනා හයියෙන් ගිය වාහනේක හැපිලා. විල්පත්තු වල වලහෙක් මැරිලා තිබුනා වාහනේක හැපිලා.
කුමන යනවනම් වැස්ස ටිකක් අඩු කාලයක් බලල යන්න, නැත්නම් ගමන ටිකක් අමාරුයි.
@ දිල්
ReplyDeleteකෑම්ප් කරනවානම් ඔය තියෙන්නේ නියම චාන්ස් එකක්. වෙන්න මහත්තය එක්කම යන්න බැරියෑ.
අලි බලන්න යනවනම් වාහනේක ගිහින් බලන එක තමයි වඩා හොඳ. හැබැයි ඉතින් හූ කියාගෙන දුවන්න ගිහින් යන වාහනේත් එක්කම අලියා කුඩු කරලා දායිද දන්නේ නැහැ :)
@ Raj
ReplyDeleteඔව් බං, යන්න තියෙන අමාරුව මිසක් ගමනේ වෙන කිසිම වැරද්දක් නැහැ.
දැන් මෙහෙමනම් ඒ කාලේදී පානම මොන තරම් දුෂ්කර ඇතිද. උඹලගේ තාත්තා හොඳ කට්ටක් කන්න ඇති නේද, හැබැයි ඒ වගේම ජීවිතේට හොඳ අත්දැකීම් ටිකකුත් එකතු කර ගන්න ඇති
අපිත් ගියා සිංහරාජේ සත්තු බලන්න.. හිකිස්.. එක සතෙක්වත් දැක්කේ නැහැ. අනේ අෆ්ෆේ කුදල්ලෝ නම් දැක්ක..
ReplyDeleteනියම ලිපිය ලොකූ.මම ආසයී ඒ දාල තියෙන පින්තූර ටිකට.
ReplyDeleteලස්සන පින්තූර ටික ලොකූ... ඇත්තටම මුළු චාරිකා සටහනම එක හුස්මට කියෝගෙන ගියා. කොහොමත් මං චාරිකා සටහන් කියවන්න කැමතියි, හැබැයි මේ වගේ රහකට ලියලා තියේ නම් ! ඉතුරු ටිකත් ලියන්නකෝ...
ReplyDelete@ වර්ණා,
ReplyDeleteසිංහරාජේ කියන්නෙත් මම ආසම තැනක් තමයි, ඒත් දරුවෝ එහේ සත්තු බලන්න ගිහින් වැඩක් නැහැ. යන්න ඕනේ කුරුල්ලෝ බලන්නයි සන්සුන් නිදහස් විවේකයක් ගත කරලා එන්නයි. කූඩැල්ලෝ කියන්නෙ පොඩි කාලේ ඉඳලම හොඳට හුරුපුරුදු කට්ටිය නිසා අපිටනම් ගානක් නැහැ.
මම හැම අවුරුද්දෙම වගේ එහේ ගිහින් දවස් 5 ක් 6 ක් ඉඳල එනවා ඉස්සර. ලබන අවුරුද්දේ ලංකාවට ආවහම පටන් ගන්න ඕනේ පරණ විදිහටම.
@ බට්ටි
ReplyDeleteබොහොම ස්තුතියි බට්ටියේ...
@ Chathuranga Perera
චාරිකා සටහන් වලට කැමති අය නැතුව ඇති කියල හිතලා තමයි මම ලියන්නේ නැතුව හිටියේ. අද හෙටම ඉතුරු ටික දාන්නම්.
බොහොම ස්තුතියි අගය කිරීමට
අහ්හ් ඔව් ඔව් දැක්ක දැක්කා කුරුල්ලෝයි ලොකූ ගසුයි.. කූඩැල්ලෝ නම් මම ඉන්න පරිසරයේ නැති නිසා බය උනා ඒ ගොල්ලන්ට මම ගොඩාක්.. :)))
ReplyDeleteඅනේ මමත් කවදාවත් කෑම්පිං ගිහිල්ලා නැහැනෙ... හරිම ආසයි යන්න... දැන්නම් ඉතින් පොඩි උන්වත් අරගෙන එපායැ යන්න... එතකොට ආරක්ෂාව ගැන බය හිතෙනවා... :(
ReplyDeleteහරිම ආස හිතෙනවා ලොකු පුතා කියවනකොට... හිතගත්තැකි ඩැයිබර් මහත්තයට වෙච්චි හරිය.... පින්තූර ටික නම් කියල වැඩක් නෑ... අර ලතු වැකියා මං කලින් දැකල නැද්ද මන්දා...
This comment has been removed by the author.
ReplyDeleteමට මේල් එකක් දාන්නද පුලුවන්ද ? (reader554@gmail.com)
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා
ReplyDelete