Tuesday 22 November 2011

වැරදීමකින් ගිය කුමන චාරිකාව 02



බෝවත්තගල ගල් ගුහා, බඹරගස්තලාව ගල සහ බඹරගස්තලාව සුප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමාව සහිත ගල් ගුහාව බලන්න ගියපු තැන ඉඳල අද කියවමු.

.....................................................................................................
මගේ අතේ තිබුනේ "Tele-Lens" වර්ගයේ දිග ලෙන්ස් එකක් අමුණපු කැමරාවක් නිසා ඒක වරින් වර පොඩි ලෙන්ස් එකක් එක්ක මාරු කරකර ෆොටෝ ගහන්න ඇති වෙච්ච කම්මැලිකම නිසා මේ තැන් වල මම ෆොටෝ වැඩිය ගත්තේ නැහැ. ඒත් දැන් අපරාදේ කියල හිතෙනවා.  ගමනේ තියෙන අපහසුව බැලුවහම කවදා ආපහු "කුමන" යයිද කියල කියන්නත් බැහැනෙ.
මේ කිසිම කැමරා උපකරණයක් මගේ නෙමෙයි, යාළුවෙක්ගේ. හැබැයි රට යන්න කලින් මේ ඔක්කොම මගේම වෙලා මගේ අතේම රැඳිලා හිටියා මගේ හෙවනැල්ල වගේ.

බෝවත්තගල ගල් ගුහා සංකීර්ණයේ ඉස්සර කාලේ හාමුදුරුවරු වැඩ වාසය කලා බවට කදිම තොරතුරු රැසක් දකින්න පුළුවන්.

මේ තියෙන්නේ ගල් ගුහාව ඇතුලේ ඉඳල ගත්තු ජායාරුපයක්
බෝවත්තගල ගල් ගුහා
කටාරම්
මෙහි දක්නට ඇති ගල් ගුහාවල කටාරම් සහ ඒ ආසන්නයේම කෙටු යම් යම් අක්ෂර(බ්‍රාහ්මීය විය හැක) වලින්ද සමන්විතයි. කටාරම් කෙටීම මගින් සහ අක්ෂර මගින් මෙම ස්ථානය යම් වැදගත් ස්ථානයක්ව තිබෙන්නට ඇති බව අනුමාන කලහැක. බිමද සමතලා ගල් පතුරු දමා සකස් කොට තිබී ඇත.


1925 දී කවුරුන් හෝ අඳි නව ගුහා චිත්‍ර
මේ ගලේ බොහෝම ඈත කලෙක ඒ කියන්නෙ 1925 වගේ කාලෙක ලියවුනු සහ ඇඳපු රූ සටහන් වගයකුත් තිබුනා. රූ සටහනේනම් ඉන්නේ මොකෙක් හරි භූතයෙක් හරි යකෙක් හරි වගේ එකෙක්. හැබැයි ඒවා කිසි දෙයක් කුණුහරප නෙමෙයි, සභ්‍ය වචන සහ රූප. මෑතකදී ගිය කවුරුවත් එවැනි දේවල්වත් කරලා නැහැ. ඒක ගොඩක් හොඳ දෙයක් විදිහට මම දකිනවා. සමහර විට පහුගිය කාලේ තිබුන ත්‍රස්තවාදී තර්ජන නිසා මිනිස්සු එහෙට නොගිය නිසා එහෙම උනාද දන්නෙත් නැහැ.

මේ අවට පරිසරය පුදුම විදිහට ලස්සනයි, ඒ වගේම හරිම සිත් ගන්නා බවකුත් නිස්කලංක බවකුත් තිබුනා. අපිත් සෑහෙන වෙලාවක් වටපිට බලමින් එතනට වෙලා හිටියා.
බලාපොරොත්තු
පාවීම...
අපි මේ අවට සෑහෙන වෙලාවක් ගත කළා පැරණි නටබුන් බලන්න. ඒ අතරේ අපේ අවට එහා මෙහා ඉගිලිච්ච ලිහිණින් කිහිප දෙනාගේ පින්තුරයක් ගන්න මමත් උපරිම උත්සාහයක යෙදුනා. ඒත් සාර්ථක උනේ නැහැ.
මෙතනින් පස්සේ අපේ අරමුණ වුනේ බඹරගස්තලාව. අපි දැන් බොහොම අබලන් මාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇදෙනවා. සමහර තැන් වලදී පාර හොයා ගන්න බැහැ, ඒ තරමට කැලෑව වැවිලා. ඒ වෙලාවට ගයිඩ් මල්ලි කියන දිහාවට යනවා, ආපහු පාර හම්බ වෙනකම්. බොහෝ තැන් වල "කුකුල් කටු" නමින් හඳුන්වන විශාල කටු සහිත කුඩා ශාකපඳුරු වැවිලා පාර පුරාම. අපේ ගයිඩ් මල්ලියි තව එකෙකුයි බැහැලා ඒවා කප කපා තමයි ඉස්සරහට යන්නේ. එයින් එකක් ටයර් එකේ ඇනුනොත් අපි ආපහු ගිහින් ඉවරයි.
ඒක තැනකදී ගයිඩ් මල්ලි යන්න හරිම අමාරු පාරක් දිගේ යමු කියල කිව්වා, ඉතින් මමත් ගියා. ඒ පාර ගිහින් වැටෙන්නේ කැඩීබිඳී ගිය වැව් කන්ඩියකට. ඒ පාර යන්තමට ජීප් එකේ රෝද පළලට තියෙන පාරක්, ටික දුරක් ගියාට පස්සෙ එක පාරට පල්ලමකට බැහැලා වැව හරහා යන්න ඕනේ. අඩි තිහක විතර දුරක් වතුර දිගේ. මේ වගේ දේවල් ඕනෙතරම් TV වල එහෙම දැකල තිබුනට කවදාවත් කරලා තියෙන එකක්යැ. පොඩ්ඩක් බයෙන් බයෙන් වගේ වතුර පාර හරහා එගොඩ වුණා.  එතන වතුර පාරනම් ජීප් එකේ බොනට් එකට උඩිනුත් ආවා.
මේ ට්‍රිප් එක ගියේ ජීප් එකේ අමතර රෝදයක් නැතුව කියල කිව්වොත් පිළිගන්න පුළුවන්ද. ඒක නිසාම තමයි හැමතිස්සෙම වගේ මගේ පපුව බිත්තර තම්බන ගානට රත්වෙලා තිබුනේ.

සමහර තැන් වල මහා අතු කඩන් වැටිලා පාරට. ඒ වගේ තැන් වලදීත් පිහි වලින් ඒවා කපලා දාල පාර එලි පෙහෙළි කරගෙන අලුත්ම ලෝකෙකට යනවා වගේ ගමනක් තමයි අපි ගියේ. මම හිතන්නේ මේ කාලෙට වැඩිය කවුරුවත් මේ පැත්තට යන්නේ නැතුව වෙන්න ඇති.



බඹරගස්තලාව ගල
බඹරගස්තලාව කෙම
බැලුම්ගල
බඹරගස්තලාව කෙම ගාව තියෙන ගල උඩට නැග්ගට පස්සේ වටපිටාව හොඳට බලා ගන්න පුළුවන්. ඒකෙ උඩ ඉඳල බැලුවහම "බැලුම්ගල" නම් ස්ථානයේ දකින්න පුළුවන් චෛත්‍යක නටබුන් තමයි මේ ඈතින් පේන්නෙ. අපිට එතනටනම් යන්න බැරි වුණා.
බඹරගස්තලාවට ආපු ගමන් අපි කලේ ගෙනාපු බත් ටික කන්න ගත්තු එක, මේ වෙද්දී අපි ගෙනාපු වතුරත් ඉවර වේගෙන වගේ ආපු නිසා බොහොම පරිස්සමින් තමයි වතුර පාවිච්චි කලේ. අපේ යාළුවා මේ වෙලාවෙත් පොඩ්ඩක් පිස්සු නැටුවා. බෝතලේ වතුර බීල ඉවර වෙලා හිමීට ඒකෙන්ම අතත් හෝදගත්තා, තව පිඟානත් හෝදන්නයි කල්පනාව. ඉතුරු අයනම් අර ගල් කෙමේ තියෙන වතුර තමයි අත හෝදන්න පාවිච්චි කලේ. පිඟන් ඔක්කොම බෑග් එකකට දා ගත්ත කෑම්ප් එකට ගිහින් හෝදන්න.

කැලේක ගමනක් යද්දී මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. විශේෂයෙන් කෑම්ප් කරන ගමනක් වුනාම සම්පත් බොහෝම සීමිතයි. ඒ නිසා අරපරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. ඒවා කැලේට ගියාට පස්සෙ කියල දෙන්න පුළුවන් දේවල් නෙමෙයි. තමතමන් හිතලම කරන්න ඕනේ දේවල්. මොකද යාළුකම නිසා වැරදි කියන්නත් බැහැනෙ.

බත් කෑවට පස්සේ අපි ගල්කෙම ගාව උඩහ තියෙන හෙවනක පොඩ්ඩක් ගිමන්හැරියා. ගිමන්ඇරිය කිව්වට "කුරූ"යි, "අලයයි"යි ගොරව ගොරවා නිදා ගත්තත් එක්ක.

අව්ව පොඩ්ඩක් අඩු වුනාට පස්සේ ඒ අවට තිබ්බ පොලු කෑලි කිහිපයක් අතට අරගත්තු අපේ ඊළඟ අරමුණ උනේ  බඹරගස්තලාව බුදු පිළිමය තියෙන ගල් කුලට නැගීම. මෙහෙම ආරක්ෂාව ඇතුව යන්නේ ඒ අවට බොහෝ වෙලාවට වලස්සු ගැවසෙන නිසා. කොයි තරම් අමාරු පාරක් වුනත් මේ ඊයේ පෙරේද දවසක අලියෙක් ඒ කිට්ටුවටම ඇවිත් ගිය බවට සලකුණු තිබුනා කඳුගැටේ උඩ හරියෙත්.

අන්තිමේදී අපි බුදු පිළිමය තියෙන ගල්කුල ලඟට ලඟා වුනා. එතන හරිම ආකර්ශනීය තැනක්. කටාරම් කෙටුව ගල් ගුහාවේ විශාල සැතපෙන පිළිමයක් තිබුනා. ගඩොල් සහ මැටියෙන් සාදා තිබුණු පිළිමය නිධාන හොරුන් හෝ පුරාවස්තු විනාශ කරන්නන්ගේ අතවරයට ලක් වූ බවට සාධක එමටයි. ඉස්සෙල්ලාම කියපු හේතුව නිසා මට බුදුපිළිමයේ ජායාරුප ගන්නත් බැරි වුණා.



බඹරගස්තලාව  බඹරවද
මෙම ජායාරූපයේ දක්වා ඇති බඹරවදය තිබුනේද බුදු පිළිමය ආසන්නයේ. මෙවැනි තැනක ශබ්ධ නගා කතා කිරීම බොහොම අවධානම්. අවාසනාවකට හෝ බඹරුන් ඇවිස්සුනොත් මෙන්න මේ උපදෙස පිළිපදින්න. දුවන්න එපා, එකතැන වාඩි වී නිසොල්මනේ ඉන්න. මුණට අනියි කියල බයක් තියෙනවනම් මුණ කකුල් දෙක අතරේ ගහගෙන හංගගෙන ඉන්න. උන් පහර දෙන්නේ චලනය වන වස්තු වලට පමණයි.
වඩාත් වටින්නේ බඹරුන්ගෙන් බේරෙන ක්‍රම සහ විධි හොයන එක නෙමේ, බඹරුන්ව අවුස්සගන්නේ නැතුව ඉන්න එකයි.


මේ තියෙන්නේ  බඹරගස්තලාව බුදු පිළිමය තියෙන ගල් ගුහාවේ කපල තියෙන කටාරම් වල සමීප ජායාරුපයක්. මේ කටාරම කපල තියෙන දිශාවටම පේනවා නේද ඉරි ඉර වගේ. මේක සාමාන්‍ය ගල් කටුවකින් කලානම් මේකේ මේ වගේ ඉරි පාරක් ඉන්නේ නැහැ. එහෙනම් මේකේ වදින්නේ කටුවේ උල වැදිච්ච පොඩි පොඩි වලවල් වගේ පාරවල්. මේ ඉරි පාර දැක්කහම මට මෙන්න මේ වගේ අදහසක් ආවා. ඒ කාලෙ මොනවා හරි කැරකෙන රෝදයක් වගේ දෙයක් පාවිච්චි කරලා තියෙනවා මේ වගේ කැපුම් යොදන්න. හරියට දැන් කාලේ ග්‍රයින්ඩර් වලින් ගල් කපනවා වගේ. මේක තව ටිකක් ලොකු කරලා බලුවනම් මම මේ කියන එක පැහැදිලිවම පෙනේවි ඔයගොල්ලන්ටත්. (මේක මගේ පුංචි මොලේට ආපු අහිංසක අදහසක් විතරයි)


බඹරගස්තලාව යන එන අතරමගදී අපි නොයෙකුත් සත්තු සහ කුරුල්ලෝ එහෙමත් දැක්කා. දකින්න ලොකු ආසාවක් වෙලා තිබුන කොටි හපුවෙක්නම් දකින්න ලැබුනේ නැහැ. අපි හවස 6 ට විතර වගේ ආපහු අපේ කෑම්ප් එක දිහාවට එන්න පිටත් වුනා.
එන්න කලින් වැව්පිටි කිහිපයක කරක්ගහන්නත් අපි අමතක කලේ නැහැ. සමහර පාරවල් වල යද්දී ආපහු ජීප් එකේ ඇතුලටත් වතුර ආවා. ඒ තරමට වතුර වැඩි කාලයක්.


අළු වඳුරා

තිත්මුවා
මෙන්න මේ මුව පොව්වාගේ ෆොටෝ එක ගත්තු හරිදීත් හරි අපුරු වැඩක් සිද්ධ වුණා, මේ හැරියේ පාරක සලකුණක්වත් නැහැ, ඉතින් අපි ගස්, කටු පඳුරු මග හැර හැර තමයි ඉස්සරහට ගියේ. එක හරියක හොඳට පොලව වේලිලා තිබ්බ තැනක ජීප් එක පොඩ්ඩක් එරුණා වගේ වුණා. පස්සෙ මම 4x4 දාල වාහනේ ඉස්සරහට ගන්න හැදුවා, ගන්න බැහැ. පස්සට ගන්න හැදුවා, ඒත් බැහැ. දැන් කට්ටිය බැහැල ජීප් එක තල්ලු කරන්නයි කතාව. මම කිව්වනේ මම  4x4 වාහන පළපුරුදු කාරයෙක් නෙමේ කියලා. ඒ නිසා මම 4x4 දැම්මේ ෆස්ට් එකේ. ඒ නිසා රෝද හතර හරිම හිමීට එක තැනම කැරකෙනවා මිසක් මඩ වලෙන් එළියට ආවේ නැහැ. ඒත් පස්සෙ සෙකන්ඩ් එකට දාපු ගමන් ජීප් එක ටක් ගාල ගොඩ ආවා.


මේ ඉන්නේ අතරමගදී හම්බ උණු තවත් දෙන්නෙක්.

කුළු හරකා


කිඹුලා
එදා හවස් වෙද්දී අපි අර සුපුරුදු මඩපාර දිගේ බොහෝම අමාරුවෙන් සහ බොහෝම තෙහෙට්ටුවෙන් අපේ කඳවුර බලා ගමන් ඇරඹුවා.

..........................................................................................................................................................
එදා රෑ කුමන ගත කල හැටි සහ අවසාන දවස ඊලඟ කොටසින්.....

10 comments:

  1. තවත් සුන්දර සටහනක් ! මනසින් එක්වුනා ඔබේ චාරිකාවට තවත් වරක් !

    ReplyDelete
  2. යකො අමතර ටයර් එකක් නැතුව උඹ කැලේ ගියා කිව්වම මගේ ඉහමොලත් රත් උනා...නියම සංචාරයක් මචං...ඒ රූප පෙළනම් මාර ලස්සනයි..ඇත්තේන්ම කැම්ප් යනවනම් වතුර, අරන් යන දෙවල්.... ගැන හරියටම සැලකිලිමත් වෙන්න ඔන..නැතිනම් ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙන වෙලාවල් අනන්තයි...

    ReplyDelete
  3. හ්ම්ම් ලස්සනයි.. මම නම් කවදාවත් ගිහින් නැහැ.. අපිව එහෙට ගෙනිච්චට ඉස්තුති.. :)))

    ReplyDelete
  4. මෙහෙම කටු කාල යන ගමනේ සුන්දර කම දැනෙන්නෙ පස්සෙ කාලෙක ඒවා ආයෙම මතක් කරද්දිනේ....ෂෝක් පින්තූර ටික

    ReplyDelete
  5. මගෙ ජීවිතේටම මම මේ තැන ගැන අහලා තියෙන්නෙත් කීප වාරයක් විතරයි . ඉතින් පින්තූරයි මේ සටහනයි බැලුවාම නිකං හිතට දැනුනේ එහේ ගිහින් ආවා වගේ ගතියක් ..

    ස්තූතියි ..

    ReplyDelete
  6. @ Weni
    බොහෝම ස්තුතියි වෙනී

    @ Raj
    බොහෝම ස්තුතියි මචං කමෙන්ට් එකට
    ඔව් බං මගේ ඔය වගේ පිස්සු වැඩත් තියෙනවා සමහර වෙලාවට

    @ වර්ණා
    බොහෝම ස්තුතියි කමෙන්ටුවට

    @ දිල්
    ඔව් දිල් ඒවා ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මේ වගේ ගමන් ගොඩක මතකයන් මගේ ගාව තියෙනවා. මීටත් වැඩිය කටු කාපු ගමන්..
    එක දිගට දවස් තුනක් රටළුණු එක්කයි, මාජරින් එක්කයි, ජෑම් එක්කයි පාන් කාපු ගමනකුත් තියෙනවා. අන්තිමට පාන් එපාම උනා.

    @ හිස් අහස
    අගය කිරීමට බොහෝම ස්තුතියි මචෝ...
    උඹට කුමනට ගොඩාක්ම ලඟයි නේද, වෙලාවක ගිහින් වරෙන්

    ReplyDelete
  7. බොහොම ස්තුතියි ලොකු පුතා අපිවත් චාරිකාව එක්කන් ගියාට.... ඒ වගේම තමයි අර උපදෙස් ටිකත්..... ඔයාට වෙනම සම්මානයක් දෙන්න වටිනවා අමතර ටයර් එකක් නැතිව හරියට පාරක් තොටක් නැති මේ වගේ දුෂ්කර ගමනක් ගිහින් ජාම බේරගෙන ආපු එක ගැන.... මේක කියෙව්වම කුමන යන්න ආස හිතෙනවා...මට හිතෙන්නෙ කවුරු හරි කලින් කැලේ ගිහින් පළපුරුදු කාරයෙක් එක්ක ගමන ගියා නම් හොඳයි කියලයි....

    ReplyDelete
  8. දෙවැනි චාරිකා සටහනත් ආසාවෙන් කියෙව්වා ලොකූ... 3 ත් දාන්න !!!

    අර කටාරම් කපපු කථාව නම් මගේ හිතගත්තා. දන්නා කියන කෙනෙක් ගෙන් අහගන්න ඕනේ !!!

    ReplyDelete
  9. @ Miyuru
    බොහෝම ස්තුතියි අක්කේ කමෙන්ට් එකට.
    ඔව් අක්කේ මගෙත් පිස්සු වැඩ තමයි, කැලේ කියන්නෙ මටත් ගොඩක් හුරුපුරුදු තැනක් අක්කේ. ඒත් මම කුමන ගිහින් තිබුනේ නැහැ. ඒ වගේම මීට කලින් මේ වගේ පාරවල් වල තනියම වාහන එළවලා තිබුනෙත් නැහැ. ඒත් ඉතින් ඒවා කරලම එපැයි පුරුදු වෙන්න.

    ReplyDelete
  10. @ Chathuranga Perera
    අද හෙටම දානවා මචන්....

    ඉස්සර ලංකාවේ කළුගල් පලලා කණු විදිහට සකස් කරන්න සරල ක්‍රමයක්‌ තිබිලා තියෙනවා. ඒක මෑතක් වෙනකම්ම පාවිච්චි උනා. ලොකු ගල් ගෙඩි වල තනි රේඛාවක තරමක් දුරින් දුරින් දැන් බෝර දාන්න විදිනවා වගේ ඊට ටිකක් පළල හතරැස් හැඩයේ තව් විදගෙන යනවා.
    ඊට පස්සෙ ඒකට විශේෂ ලී වර්ගයකින් කපා ගත්තු ලී කූඤ්ඤ බස්සනවා, ඒ ලී වර්ගය මට මතක නැහැ. මම ඒක හොයල ළඟදීම නම දාන්නම්. ඊට පස්සෙ ඒ කූඤ්ඤ වලට වතුර දානවා. එතකොට අර ලීය ප්‍රසාරණය වීම අනුව ගල පුපුරනවා. ඒ ලී වර්ගය අනිත් ඒවාට වැඩිය වතුර වැටුනම ප්‍රසාරණය වීම වැඩියි. මේ විදිහට ඉරා ගන්න ගලක් ලස්සන නිර්මාණයක් කර ගන්න පුළුවන් තාක්ෂණයක් තිබ්බ අපි අර වගේ ක්‍රමවේදයන් භාවිතා කලා කියල හිතන්න බැරි කමක් නැහැ.
    මම දැනට අවුරුදු 10කට වගේ කලින් පත්තරේක කියෙවා මහනුවර ආසන්නයේ ගමක පලිඟු භාවිතයෙන් සිසිලන කන්නාඩි(Cooling Glass) හදන තැනක් ගැන පත්තරේක දාලා තිබුනා. ඒවා බොහෝම ඉස්සර කාලේ ඉඳල එන තාක්ෂණ ක්‍රම වලට තමයි හදන්නේ. මුලින්ම ගල් ටික ඉරාගෙන ඊට පස්සෙ ඒවා වැලි වර්ග ආධාරයෙන් සියුම් කරලා තමයි කන්නාඩි හදන්නේ. ඒ කිසි දේකට නව තාක්ෂනය පාවිච්චි කරන්නේ නැහැ.
    ඒ මනුස්සයාගෙ කෙනෙක් එංගලන්තේ මහා රැජිනට කන්නාඩියක් හදල දීපු එකට සම්මානයක් විදිහට මොකක්ද ලියවිල්ලකුත් ලැබිල තියෙනවලු.
    ඒ පත්තරේ තාම මගේ ගාව තියෙනවා ගෙදර, ගෙදර ගියාම හොයල බලන්න ඕනේ.

    ReplyDelete