Monday 14 November 2011

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සහ මිතුරු තොමෝ -01



අපිට ඉස්කෝලේ කාලේදී තිබුන බොහොම සුන්දරම කාලේ තමයි නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තියෙන කාලේ. අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය තිබුනේ පෙබරවාරි අග එහෙමත් නැත්නම් මාර්තු මුල වගේ කාලෙක. මේ කාලෙට තමයි හොඳට පායන්නේ මේ වගේ උත්සව තියන්න පුළුවන් වෙන විදිහට. ඒ ගැනත් හිතල වෙන්න ඇති මේ කාලය ඒ වෙනුවෙන් වෙන් කරන්නේ.  අපේ ඉස්කෝලේ විතරක් නෙමෙයි මේ කාලෙට අපේ පැත්තේ හැම ඉස්කොලේකම වගේ ක්‍රීඩා උත්සව. හැබැයි එකකට එකක් අවහිරයක් නොවෙන විදිහට තමයි මේ උත්සව වලට දින වෙන් කරගෙන තිබුනේ. ඉතින් ළමයින්ට කරදරයක් නැතුව අනිත් ඉස්කෝල වල ක්‍රීඩා උත්සවයටත් සහභාගී වෙන්න පුළුවන් කම තිබුනා.
අපේ ඉස්කෝලේ නිවාස හතරකට බෙදල තිබුනා, ඒවායේ නම් උනේ පරාක්‍රම, ගැමුණු, විජය සහ තිස්ස. 
මේ ක්‍රීඩා උළලේ ප්‍රධාන අරමුණ ක්‍රීඩා විතරක්ම නොවීම බොහොම වැදගත්, ඒ කියන්නේ හොඳම බැජ් එක, හොඳම නිවාසය කියලත් ගොඩක් වැඩි ලකුණු දෙන අංග මේකේ තිබුනා.
ඉතින් සති ගානක ඉඳලා පුවක් ගස්, උන ගස්, පොල් අතු, පුවක් අතු, පිදුරු, ලී කුඩු, දහයියා පොත්තේ සිට සැරසිළි සඳහා ගන්න පුළුවන් මඩු අතු, පොල් හනසු, කැකිල්ල, ලොක්කන් නට්ටන්, බඩල් හනස්ස වගේ අවශ්‍ය කරන හැම දෙයක්ම එකතු කරනවා.
හැම නිවාසෙකට අදාලව ළමුන් වගේම ගුරුවරුත් කණ්ඩායම් බෙදනවා. ඉතින් නිවාස රැස්වීමක් තියලා එදාට ඒ නිවාසයේ හැමෝම එකතුවෙලා මේ වසරේ නිවාස නායකයා, නායිකාව, ක්‍රීඩා නායක, නායිකා, භාණ්ඩාගාරික, සහ නොයෙකුත් කටයුතු සඳහා නිල මඩුල්ල පත් කර ගන්නවා. අපි ඉස්කෝලේ ඉන්න කාලේ එක නිවාසෙකට ළමයි හත් අට සීයක් හිටියා. මේ කටයුත්තට ළමයින්ගේ නම් ලිස්ට් එකක් හදලා හැමෝගෙන්ම රුපියල් 20/- හෝ 25/- වගේ ගානක් එකතු කරනවා. හැබැයි ඉතින් ලොකු පන්ති වල හිටපු කොල්ලොනම් මේ සල්ලි නොදී ඉන්නම තමයි හදන්නේ. ඒ සල්ලි වලින් තමයි මේ හැම වැඩක්ම වගේ කරන්නේ. නිවාසාන්තර උත්සවේ දවසට ළමයින්ට කෑම වේලක් සහ බොන්න දෙන බීම සහ ක්‍රීඩකයින්ට දෙන ග්ලුකෝස් එක පවා ගන්නේ මේ සල්ලි වලින්. තව නිවාස සැරසිළි, බැජ් හදන්න යන වියදම මේ හැම දෙයක්ම.
මේ කාලේ වෙද්දී ඉස්කෝලේ ඉගැන්වීමේ කටයුතු ගොඩක්ම අඩාල වුනත් කාටවත් ඒ ගැන වගේ වගක් තිබුනේ නැහැ. මුළු ඉස්කෝලෙම අමුතු සිරියාවකින් මත් වෙන කාලයක් ඒක.
කෙල්ලෝ කොල්ලෝ එකට ඉඳගෙන මේ වගේ වැඩ කරනවා කියන්නේ වෙනදාටත් වඩා එකට මුහු වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි.  ඉතින් මේ කාලේදී කෙල්ලෝ කොල්ලෝ ගොඩදෙනෙක් "ගොඩ යන" කාලයක්.

මේ හැම දෙයක් අතරින් නිවාස වල වැඩ ඉදිරියට ඇදීගෙන යනවා. කට්ටියක් ක්‍රීඩා පුහුණු වෙනවා, ඒ වගේම අවසාන දිනයට කලින් බොහොමයක් තරඟ වල මුලික තෝරා ගැනීම් හමාර කරනවා. තව කට්ටියක් නිවාසේ ආකෘති හදන්න, බැජ් එක හදන්න (චිත්‍ර දන්නා අය) සැළසුම් කරනවා, වැඩ ගොඩයි.
හැබැයි මේ නිවාසයේ සැළසුම සහ බැජ් එකේ සැළසුම කියන්නේ බොහොම රහසිගත වැඩක්. ඒක අනිත් නිවාස වල කාටවත් හෙළි වෙන්නේ නැති වෙන්න තමයි කරන්නේ.
අනිත් එක තමයි අපේ ඉස්කෝලේ තිබුන විදිහට ඇතුලත් වීම් අංකය හතරෙන් බෙදල තමයි ළමයින්ව නිවාස වලට බෙදන්නේ. ඉතින්  හැම ළමයම ඉස්කෝලෙන් අස් වෙලා යනකල්ම ඉන්නේ එකම නිවාසයේ, ඉතින් බොක්කෙන්ම වගේ තමන්ගේ නිවාසෙ පළමුවැනි ස්ථානෙට පත් කරන්න තමයි හැමෝම දත කන්නේ, ගුරුවරු පවා ඒ කාලෙට තමන්ගේ නිවාසේ වෙනුවෙන් බැහැල වැඩ.


(මම ටිකක් මතකයන් පසු පස හඹා යන්නෙක් නිසා මේ හැම අවුරුද්දෙම වගේ එකතු කර ගත්තු නිවාස හතරෙම බැජ් අදටත් මා ගාව තියෙනවා, ඒත් මේ වෙලාවේ මගේ ගාව ඒවා නැහැ ෆොටෝ එකක්වත් දාන්න)


බැජ් එක සෑදීම



මෙන්න මේ වගේ මොකක් හරි තෝරගත්තු අලුත්ම නිර්මාණයක් අපිට හොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය වලින් ලස්සනට නිර්මාණය කිරීම තමයි අපි ඒ දවස් වල කලේ. කඩදාසි, කාඩ්බෝඩ්, තීන්ත, තණකොළ ඇට, වී ඇට හෝ වෙනත් එවැනි ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන මෙම නිර්මාණය කරනු ලැබේ. කෘතීම ද්‍රව්‍ය වැඩි වූ පමණට ලකුණු වලද අඩු වීමක් සිදු වේ.


නිවාසය සෑදීම




*මෙම ජායාරූපය ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහල් වෙබ් අඩවියේ තිබී උපුටා ගත් ජායාරුපයකි.

සම්පුර්ණයෙන්ම පාහේ ලී දඬු, පුවක් කොට, උන බට යොදා සාදා ගන්නා සැකිල්ල යම්කිසි වැදගත් ස්ථානයක අනුරුවක් වශයෙන් අදාල නිවාසයේ අනන්‍යතාවයද හෙළිවන අයුරින් නිර්මාණය කරනු ලැබේ. වෙනස්ම ආකාරයේ නිර්මාණ පවා කිරීමට කිසිම බාධාවක් නොතිබුණි. පසුව එය නොයෙකුත් ආකාරයෙන් සරසා ලස්සන කරනු ලැබීය. පසු කාලීනව කුලියට ගත් "ටෙන්ට්" එකක් වටකර සැරසිලි කර නිවාසය සෑදීම සිදු කලේ වැයවන කාලය ඉතුරු කර ගැනීමට විය හැක.


මම හිටියේ පරාක්‍රම නිවාසයේ. හැමදාම නිවාසයක නායකත්වය දෙන්නේ 12 වසරේ අයට. මොකද 13 කට්ටිය මේ වෙද්දී උසස්පෙළ විභාගේ වෙනුවෙන් මහන්සි වෙන නිසා. ඒ විතරක් නෙමේ 13 වසරේ උන් ඉස්කෝලේ එන්නෙත් නැහැ.
ඔන්න මේ කියන කාලේ මමත් හිටියේ 12 වසරේ, අපේ වාරයේදී නිවාස නායකයා උනේ කළා අංශයේ හිටපු "දිගා". මමත් නිකමට වගේ උප ක්‍රීඩා නායකයා වෙලා හිටියා. මීට අමතරව, කුඩ්ඩා, අමිල බඩා සහ නම් අමතක ගොඩක් යාළුවො එදා අපේ හවුස් එකේ හිටියා.
මේ විදිහට නිවාස වලට බෙදිලා හිටියට සමහර වෙලාවට ෆිට් එක වැඩි කමට වෙනත් නිවාස වල උනුත් තමන්ගේ නිවාසේ අතහැරලා ඇවිත් යාළුවො වැඩියෙන්ම ඉන්න නිවාසෙට වැඩ කරන වෙලාවලුත් තියෙනවා.
මේ කාලේ අපේ ඉස්කෝලේ පොඩි නෙමෙයි ලොකු වසංගතයක් පැතිරිච්ච කාලයක්. ඒ කියන්නේ ගොඩ දෙනෙක් දන්නා "ටොපි" වසංගතේ. අපේ ඉස්කෝලෙට නමකුත් හැදිලා තිබුනා "ගුලි xxxxx" කියලා.
කාර්ඩ් එකෙන් සියාතු කියන මගේ යාළුවා කළා අංශයේ. ඌ ලස්සනට කොන්ඩේ වවාගෙන හිටියේ හරියට "අජේ දේව්ගන්" වගේ. ඒ වගේම ඌ හිටියේ විජය නිවාසේද කොහෙද. ඒත් මේ කියන ක්‍රීඩා උත්සවය කාලේ වෙද්දී ඌ වැඩිපුර හිටියේ අපිත් එක්ක. මමත් මැත කලාට හිටියේ ආර්ට් කොමස් උන් එක්කම තමයි. ඒ වගේම තමයි මු හැමදාම ඉස්කෝලේ එන්න කලින් අර කියන ජාතියෙ ටොපි 5 ක් හෝ 6 ක් ඉස්කෝලේ අරගෙන එනවා. පන්තියේ ඉන්න වෙලාවෙත් එකක් ඉවර වෙන්න එකක් විදිහට උඩු තල්ලේ මෙයින් එකක් අලවාගෙන ඉන්න තමයි ඌ පුරුදු වෙලා තිබුනේ.
මමත් දවසක් දෙකක් මෙයා එක්ක මේ කියන ටොපි කාල බැලුවා, එකක් වැඩක් නැති තැන දෙකක් වැඩක් වෙයිද බැලුවා, ම්හ්..... ඒත් නැහැ.
මේක මට වැඩ කරන්නේ නැද්ද කොහෙද. ඊට පස්සේ මම ඕව කන්න ගියේ නැහැ.
ඔහොම ගිහින් මේ උත්සවේ දවස් කිට්ටු වෙද්දී මම මුට කරුණු කාරණා පහදලා දීල ඌව මේ පුරුද්දෙන් මුදවගන්නත් සමත් උනා.
එදා ඉඳල අපි දෙන්න ගොඩක් ළඟ මිත්තරයෝ වුනා.


ඔහොම ගිහින් එක දවසක අපි නිවාසය හදන්න කලින් දවසේ පෙර සුදානම් කිහිපයකට රෑක ඉස්කෝලෙට එන්න කතා වුනා.  එදා හවස මම සියාතු එක්කම ටවුන් එකට ගිහින් අලුත් සෙරෙප්පු දෙකක් ගත්තා. මගේ තිබුණු සෙරෙප්පු දෙකේ එකක පටියක් පොඩ්ඩක් කැඩිලා තිබුනේ. ඒ කාලේදී ටිකක් ජනප්‍රිය වෙච්ච පටි පටි තියෙන සෙරෙප්පු දෙකක් තමයි මම ගත්තේ..  මුලින්ම කලේ අලුත් සෙරෙප්පු දෙකත් අරගෙන ටවුන් එක කිට්ටුවම තිබ්බ කස්සලගේ ගෙදරට ගියා, එතන තමයි අපේ තිප්පොල උනේ ඒ දවස් වල. පරණ සෙරෙප්පු දෙක විසි කරන්නේ නැතුව කවරෙක දාල උගේ ඇඳ යටට දාල අලුත් දෙකත් දාගෙන පිටත් වුනා. එක පටියක් අබලන් උනාට ඒක හදාගෙන පාවිච්චි කරන්න බැරි කමක් තිබුනෙත් නැහැ. ඊට පස්සේ ටවුන් එකට ගිහින් කඩේකින් කොත්තු දෙකකුත් කෑවා.
මේ ඔක්කොම ඉවර වෙලා අපි දෙන්න ඉස්කෝලේ ගාවට එද්දී වෙලාව රෑ 08:30 ට වගේ ඇති. ඒ වෙද්දී ගේට්ටුව ගාව හිටියේ කුඩ්ඩා විතරයි. අපි උගෙන් ඇහුව අනිත් උන් ගැන. ඌ කිව්වා උන් මොනවද බඩු වගයක් ගේන්න ළඟකට ගියා කියලා.
අපිත් ඉතින් මේ වෙලාවේ පොඩි විහිළුවක් කරන්න හිතාගෙන කුඩ්ඩටත් විස්තරේ පහදලා දීලා එතනම තිබුණු සිකුරුටි කුටියේ වහල උඩට අඹ ගහ දිගේ නැගල හැංගුනා. ඒ අඹ ගහ හින්ද කාටවත් අපිව පේන්නේ නැහැ.
ඔහොම ටික වෙලාවක් ඉන්නකොට අපේ යාළුවො ටික  ඈත එනවා පෙනුනා පාරේ තියෙන ලයිට් එළියෙන්. ඒ වෙද්දී ඕ ලෙවල් විභාගෙන් පස්සේ පාසල් ජීවිතයට සමු දීල ටවුමේ රස්තියාදු ගගහා හිටපු "ඩෙකා" කියන අපේ හිටපු යාළුවෙකුත් මේ එක්ක හිටියා. ඌ අස් වෙන්න කලින් හිටියේ අපේ හවුස් එකේ.
ඌ බෝතලයක් කටේ තියාගෙන පාර දිගේ බිබී තමයි ආවේ. අනිත් උනුත් බිව්වද නැද්ද කියල කියන්න මම දැක්කේ නැහැ, ඒත් එක පාරටම කොහේද මන්ද ඉඳල අපේ ක්‍රීඩාභාර ගුරුතුමා මතු වුනා. කට්ටියව දැකපු ගමන් "ආ ඩෙxxx මොකද මේ පැත්තේ" කියලා ඇහුවා. අපිට හොඳටම ෂුවර් මු බොන එක දැකල තමයි සර් මේක ඇහුවේ කියලා.
"මේගොල්ලන්ට උදව් කරන්න ආව සර්" කියලා මුත් වැනි වැනිම උත්තර දුන්නා. ඒ මදිවට ඇඟ පිටිපස්සේ බෝතලේ හංගගන්න කරන අසාර්ථක උන්ත්සාහයකත් ඌ දීලයි හිටියේ.
මේ සර් බොහොම තරුණ වයසේ හිටපු හොඳ ඉවසීමක් තියෙන මනුස්සයා. හරිම හිත හොඳයි. ඉතින් එතැනින්ම මේක අමතක කරලා දාන්න ඇති. ඒ මදිවට එයානේ මේ දවස් වල ඉස්කෝලේ ඉන්න වැඩ රාජකාරි අධිකම මනුස්සයා.




ඊට පස්සේ කට්ටිය කුඩ්ඩා ඉන්න තැනට ඇවිත් අපි දෙන්න ගැන විපරම් කළා.  කුඩ්ඩා ලස්සනට උගේ වැඩ කොටස කළා, "මුන් දෙන්න තාම ආවේ නැහැනේ බං" කියලා ඌ කිව්වේ පොඩි නොරිස්සුම් හඬකුත් මවාගෙන.

ටික වෙලාවක් ගියේ නැහැ අපේ යාළු මිත්තරයෝ ටික අපි දෙන්නගේ ගුණ දොස් වර්ණනාවක් කරනවා අපිට අහන් ඉන්න බැරි තරම් ලස්සනට. "මටනම් මුන්ව විස්වාස නැහැ, අපේ රහස් මුන් එලියට දායිද දන්නේ නැහැ, මුන් සත පහකට වැඩක් ඇති එවුන් නෙමෙයි" වගේ අහං ඉන්න ආස හිතෙන කතා ගොඩයි.
මම වගේ නෙමෙයි සියාතුවා, ඌට මේ වගේ වෙලාවට මළ පනිනවා. මු ගහෙන් බැහැල මුන් ගාවට යන්නම හදනවා. (මු මේ දවස් වල වළි වලටත් හරි ප්‍රසිද්ධයි) මම හරි අමාරුවෙන් ඌව නවත්තගෙන හිටියේ.
පැය භාගයක් වගේ එතන කියව කියව ඉඳලා උන් ටික පිට්ටනියේ එහා කෙලවරට ගියාම අපි වහලෙන් බැස්සා, අපි එද්දිම වගේ  කුඩ්ඩත් එතනට ආව, ඇත්තටම මේ සිද්ධිය හරියටම දන්නේ ඌ විතරනේ. ඒ වෙලාවේ ඌ හරියට අපහසුතාවයට පත් වෙලා.

"අපි ආපහු ඔය වැඩ වලට නැහැ බං" කියල අපි දෙන්න ආපහු හැරිලා යන්න හදද්දී ඌ අපිව නවත්ත ගන්න සෑහෙන්න ට්‍රයි කළා. ඒත් අපි දෙන්නගේ හිත් හොඳටම කළකිරිලා ඉවරයි ඒ වෙද්දී. මේ වෙනකොට වෙලාව රෑ 10:00 ත් පහු වෙලාද කොහෙද. සියාතුලගේ ගෙදර ඒ අහල පහලම තිබුනට අපිට එහෙ යන්න හිතක් තිබුනේ නැහැ.


පොස්ට් එක ටිකක් දිග වැඩි වේගෙන එන නිසා "අපි ගියේ කොහෙද" කියලා දෙවන කොටසින් පළ කරන්නම්.......

13 comments:

  1. ලොකු පුතා,
    ඔය ස්පෝට්ස් මීට් ඉස්කෝලෙ කාලෙ තියෙන සුන්දරතම අත්දැකීමක් තමයි. මම දෙපාරක් ඉස්කෝලෙ ගියානෙ. ලමයෙක් හැටියටත් ගුරුවරයෙක් හැටියටත්. ගුරුවරයෙක් හැටියට අදත් යනවා. මම ලමයෙක් හැටියට හිටියෙ කොළඹ සුලෝහිත ඉස්කෝලෙ නිවාසාන්තර මළල ක්‍රීඩා, බිග් මැච් එකට යට වෙලා, කුඩම්මගෙ සැලකිලි ලැබුව. මම ගිය කාලෙ. අද කොහොමද දන්නෙ නෑ.
    එතකොට ලංකාවෙදි මම උගන්නපු කොළඹ කොට අදින ඉස්කෝලෙට හරි හමං පිට්ටනියක් තිබ්බෙ නැති නිසා, අපි සුගතදාස ස්ටේඩියම් එක හයර් එකට ගන්නවා. ඉතිං ඔය හට් ගැහිලි කරන්න බෑනෙ.
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩිනේ.

    henryblogwalker the Dude

    ReplyDelete
  2. ලොකූ යකො අපේ ඉස්කොලේ තිබ්බේත් ඔයනම් මයි බං. හැබැ මම හිටියේ තිස්ස එකේ..උඹට කියන්න අපේ නිවාසෙ තමයි චිත්‍ර ගුරුතුමී හිටියේ ඉතින් හැමදාම අපේ නිවාසේ තමා හොඳම නිවාසේ..ඇයි ටීච හොඳ හොඳ ඩිසයින් කියල දෙනව අපට නිවාසේ හදන්ඩ...හික්..ඇත්ත මචො ඔය හුඟක් යාලුවො බොක්කෙන් වගේ හිටියට මොනාහරි උනාම එකෙක් වත් නෑ බං...හැබැ ඒ ඉස්කොලේ කාලේනං පිස්සු කොටියයි..නේ බං

    ReplyDelete
  3. නිවාසාන්තර ක්‍රීඩා උළෙල තරම වටිනා කාලයක් තියෙනවද ඉස්කෝලෙ යන කාලෙදී...අනේ දෙයියනේ....මතක් වෙද්දිත් හිනා යනවා...

    ඔය නිවාස හදන වැඩේ තමා මට පෙන්න බැරි..ගැණු ළමයින් වෙච්ච අපි කොහොමද ඕවා කරන්නෙ...ඒත් ඉතින් ඒ කාලයේදී අපි කොල්ලො වගේ....පිස්සු හොඳම එක....

    දිල්ට ඉස්සර ඉස්කෝලෙ නමක් පට බැඳිලා තිබුනා...කලු ෂෝට කියලා... ධර්මරාජෙන් එන කොල්ලො දිල්ව දැක්ක ගමන් කෑ ගහන්නෙ " කමෝ කලු ෂෝට " කියලා...

    ඔය ලඟ ඉද්දී ඔලුව අතගාන ඈයෝ තමා හැරෙද්දී බෙල්ල කපන්න බලාගෙන ඉන්නේ..ඉස්කෝලෙ යන කාලෙ නම් නොතේරුම් කමට කියත හැකි...ඒත් අද කාලෙත් ඒව වෙනවනෙ...

    ReplyDelete
  4. මම නම් හිටියෙ ගැමුණු නිවාසයෙ.. එක සැරයක් රෑ නිවාස හදන්න ඇවිත් අල්ලපු වැටේ පොලීසිය. ලඟම තියෙන කුරුම්බා ගහේ කුරුම්බා දිලිසෙනවා හඳ එළියට.. කොහෙ ඉවසන් ඉන්නද ? බෑවා කුරුම්බා වල්ලක්ම.. හැබැයි ඒ පැත්තෙ මුර කුටියෙ හිටිය පොලිස් අයියලා දෙන්නත් පොඩි සපෝර්ට් එකක් දුන්න.. ක්‍රීඩා උත්සවෙදි ඕ.අයි.සී අයියා "හොඳම ක්‍රීඩකයට වගේම.. හවුස් හදන්න ඇවිත් පොලිසියෙ කුරුම්බා වල්ලක් බාපු හවුස් එකටත් ළකුණු දෙන්න ඕනි " කියලා.. ඉස්කෝලෙටම හිනා.. කලේ අපි කියලා දන්නව හැමෝම..

    ReplyDelete
  5. මේ වෙනියත් පට්ට හොරෙක්නෙ. එක්කො සූදු කෙලල අහුවෙයි. නැත්නම් බස් එකේදි කකුල් අතගාල අහුවෙයි. හදන්න බෑ. හදන්න බෑ.

    henryblogwalker the dude

    ReplyDelete
  6. **මුළු ඉස්කෝලෙම අමුතු සිරියාවකින් මත් වෙන කාලයක් ඒක.**

    ඒක නම් ඇත්ත තමා...අපේ ඉස්කෝලෙත් මෙහෙමයි..කොහොමත් පළවෙනි වාරේ ඉස්කෝලේ ඉගැන්නිල්ලක් කෙරෙන්නේ නැති තරම්...ලස්සන පොස්ට් එකක්..මමත් ඉබේම අතීතෙට ගියා..

    ReplyDelete
  7. @ Dude
    අපිට කොයිකටත් කියලා තිබුනේ ඕක විතරනේ, ඉතින් ලොකුවට ගත්තා.
    අයියේ ඇත්තටම අර කොට අදින ඉස්කෝලේ කියන්නේ මොකක්ද.
    මට මීටර් වෙන්නෙම නැහැනේ... :(

    @ Raj
    මම හිතන්නේ ලංකාවේ ඉස්කෝල ගොඩක නිවාස වලට මේ නම් පාවිච්චි වෙනවා වගේ.
    ඔව් බං ඒක ඇත්ත, යාළුවෝ... මාළුවෝ....

    ReplyDelete
  8. @ දිල්
    ඒකනේ මිශ්‍ර පාසලක ඉන්න එකේ වටිනාකම...
    එහෙනම් වැඩටික බෙදාහදාගෙන කට්ටියත් එක්ක සතුටින් කරනවනේ

    ඔව් දිල් ඒකනම් ඇත්ත, මුණට පණ දෙන්න වගේ හොඳට කතා කරලා පස්සේ යටින් වළකපන ඈයෝ අද ඉන්නේ

    @ Weni
    අපේ ඉස්කෝලෙනම් පොල් ගස ගොඩාක් තිබුනා, ඉතින් හොරපොල් කඩන්න යන්න උනේ නැහැ.
    වෙනීත් කුරුම්බා කඩලා තියෙන්නෙ පුදුම දිහාවකින්නේ :)

    ReplyDelete
  9. එකනේ Dude අයියේ, මේකා කිව්වොත් කියන්නේ කරපු තක්කඩි වැඩක්නේ.....

    @ සයුරි
    ඒ කාලේ මතක වෙද්දී හිතට සතුටකුත් එක්ක දුකකුත් දැනෙනවා.
    මොනවා උනත් අපේ ජීවිතවල කිසි බරක්පතලක් නොතිබ්බ කාලෙනේ.

    ReplyDelete
  10. ලොකු පුතා.
    ඉස්කෝල ජාති දෙකක් තියෙනවා. ඔය මම ඉගෙනගත්තා වගෙ නමගිය ඉස්කෝල. ඒවට යන්නෙ හුඟක් වෙලාවට ශිෂ්‍යත්වෙ හෙම පාස් වෙච්ච බ්‍රයිටො ටික. ඉතින් උගන්නන්න අමුතුවෙන් සෙල්ලං දාන්න ඕනෙ නෑ. අවුරුද්ද අන්තිමට ප්‍රතිඵල සමාලෝචනය කරන කොට ඉහලම මට්ටමේ ඉන්නවා. ඉතින් අමාත්‍යාංශය ඇතුලු මුලු රටම සතු‍ටු වෙනවා. අර ගුරුවරුන්ගෙ දක්ශතාවය ගැන.
    එතකොට මම උගන්නපු කොට අදින ඉස්කෝල වල ඉන්නෙ ‍ෆිල්ටර් වෙච්ච කට්ටිය. අපි උගන්නපු බ්‍රයිටොත් අර හොඳ ඉස්කෝල වලට ගියාට පස්සෙ ඉතුරුවෙන මන්ඩි ටික. ඉතිං ප්‍රතිඵල කොහොමත් පහලයි. මහන්සි වුනාට පෙනුමක් නෑ ප්‍රතිඵලවල. එතකොට අර ලොක්කො අර කොට අදින ඉස්කෝලෙයි, සුපිරි ඉස්කෝලෙයි දෙකම එකම මිනුම් දඬුවලින් මැනලා අපිට කියනවා සුපිරි ඉස්කෝලෙ ආදර්ශෙට ගන්න කියලා.
    ඔන්න කොට අදින ඉස්කෝලෙ කතාව. අර කොට අදින අලියි, පෙරහැරේ යන අලියි වගෙ.

    ReplyDelete
  11. ආ....මම හිතුවේ මොකක් හරි විශේෂ ඉස්කෝලයක් ගැන විතරක් කියපු කතාවක් කියලා.
    අලි කතර්න්දරේනම් හොඳහැටි දන්නවා අයියා :)

    ReplyDelete
  12. මේක කියවනකොට මට හිතුනෙ අපි දෙන්නම ගිහින් තියෙන්නෙ එකම ඉස්කෝලෙකටද කියලා.... හික්ස්...

    අපේ ඉස්කෝලෙ තිබුනෙත් ඔය නිවාස හතරමයි... තෝරා ගත්තෙත් ඔය ක්‍රමයටමයි... මං හිටියෙ විජය නිවාසෙ... අපෝ අපේ ගෙදර තුන්දෙනා නිවාස තුනක.... පුංචි කාලෙ ගෙදරත් රණ්ඩු වෙනව ඒවට.... ඒ කාලෙ දැන් වගේ පාරට බහින්න බැරි භයානක උපද්‍රව තිබුනෙ නැති නිසා ඔය නිවාස හදන කාලෙ වෙනකොට ගෑනු ලමයිනුත් ඉන්නව රෑ හත විතර වෙනකම්.... කොල්ලන්ට කන්න බොන්න සපයන්නෙ කෙල්ලො... ඒ විතරක් නෙවෙයි... හොර කුරුම්බා කඩන්න ඔත්තු බලන්නෙත් කෙල්ලො.... මත් පැන් පානය දැකල නැති උනාට හොරෙන් සිගරට් බොනව නම් දැකල තියෙනව ඔය කාලෙට....

    අර කළු ෂෝට කිව්ව වගේ "මුළු ඉස්කෝලෙම අමුතු සිරියාවකින් මත් වෙන කාලයක් ඒක...."

    ReplyDelete
  13. @ Miyuru
    ඒවා කියන්න බැහැ, අපි දෙන්න එක ඉස්කෝලෙද දන්නෙත් නැහැ තමයි.

    කොල්ලන්ට කුරුම්බා කඩන්න උදව් කරලා නිකම්ම හිටියද
    හොර කුරුම්බා වල රස බලන්න නැතුව ඇති නේද :)

    ReplyDelete