Thursday 1 December 2011

මඩුපොලේ කතා

අපේ පැත්තේ බොහෝම පැරණි ප්‍රසිද්ධ සමන් දේවාලයක් තියෙනවා. ඒකෙ වාර්ෂිකව තියෙන උත්සවයට තමයි අපි "මඩු නටනවා" කියල කියන්නෙ.  මේ මඩුපොල කියන්නෙ බොහෝම අපුරු තැනක්. මේක හැමදාම තියන්නේ දෙසැම්බර් මාසේ විසිගණන් වල වගේ. "මඩු" කියන නම කොහොම හැදුනද කියලනම් මට හරි අදහසක් නැහැ. සමහර විට මේකේ කෙරෙන හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ තාවකාලික මඩු වල නිසාද දන්නේ නැහැ මේ නම ලැබුනෙ. (ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි) මේ දේවාලේ කොච්චර පැරණි සහ ප්‍රසිද්ධ එකක් උනත් මේකට මිනිස්සු යන්නෙ අවුරුද්දේ මේ කියන දවස් දෙක තුනේ විතරයි. මේ දවස් කිට්ටු කරලා ඒ හරියේ ඉන්න ගමේ මිනිස්සු එකතු වෙලා දේවාලෙට යන පාර එළි පෙහෙළි කරලා, දේවාල වත්තත් උදළු ගාල දානවා. මේ උත්සව දවස් වලට මිනිස්සු ගැවසුනාට අනිත් දවස්වල මේ දේවාලේ කපුවෙක් ඉන්නවද කියන එකත් මටනම් සැකයි.


දෙවොල් මඩුවේ මහ රෑ පටන් ගන්න නැටුම් පහුවෙනිදා එළිවෙනකම්ම තියෙනවා. එක එක විදිහට වෙස් බැඳලා හරියට තොවිලයක වගේ සන්නි නැටුම් නටන එක මෙතනදිත් සිද්ධ වුනා. දෙවොල් නැටීමේ ප්‍රධාන අරමුණ වුනේ පළාතට සෞභාග්‍යය උදා කරලීම. රෑ එළිවෙනකං දෙවොල් නැට්ටුවෝ නටල ඊටත් පස්සෙ පාන්දර ජාමෙට අලියෙක් පිටේ "දේව පිළිමය" වඩම්මවල බොහෝම උජාරුවට ගත්තු උත්සවයක් තමයි මේක.
උදේ පාන්දර පහමාර වගේ වෙද්දී මේ කියන නැටුම් අවසන් වෙනවා. ඊට පස්සෙ ගමේ හැමෝම වගේ දේවාලෙට පඬුරු දාල ඉවර වෙලා පිරිත් නුල් එහෙමත් බඳිනවා. ඒ වගේම මෙතන කවි මඩුවකුත් තියෙනවා. කවුරු හරි ආධාරයක් කලාම එකට සෙත් පතල කවිත් කියනවා. පඬුරු දැම්මට පස්සෙ තමයි එතන තියෙන පොඩි පොඩි කඩවලින් බඩු ගන්න මිනිස්සු යන්නේ. පඬුරු දාන්න කලින් කවුරුවත් බඩු මුට්ටු ගන්නේ නැහැ. ඒත් තරුණ උදවියනම් මේ සිරිත් විරිත් වලට පිටින් වැඩ කරන වෙලාවල් නැත්තෙත් නැහැ. එදා උදේ ඉඳල හවස් වෙනකම්ම මේ කියපු පොඩි පොඩි මඩු වල එක එක ජාතියේ සෙල්ලම් බඩු, හට්ටි මුට්ටි සහ නොයෙකුත් තොරොම්බල් බඩු සහ රසකැවිලි විකුණන එක තමයි කෙරෙන්නේ.

අපි පුංචි සන්ධියේ මේ දෙවොල් මඩු බලන්න යන්න කලින් දවසේ අපේ ගෙදර ලොකු වතාවත් ටිකක් සිද්ධ වෙනවා. කහ කොල, කොහොඹ කොල වගේ ඖෂදීය කොල වර්ග දාල තම්බපු වතුර වලින් අම්ම අපිව නාවනවා. ඊටත් පස්සෙ පඬුරු දාන්න ගන්න මාරු කාසි ටිකටත් මේ විදිහටම කහවතුර සාත්තුව ලැබෙනවා. ඔය විදිහට පේ වෙලා තමයි අපි දේවාලේ යන්න ලැස්ති උනේ. ඊට පස්සෙ පාන්දර ජාමේ නැගිටලා අපි ඔක්කොම හුළු අතු එළියෙන් හරි ඉටි පන්දමක් පොල් කට්ටකට තියාගෙන හරි පයින්ම ගමන පටන් ගන්නවා මඩු බලන්න යන්න. සමහර වෙලාවට ගස්ලබු බටේකට භූමිතෙල් පුරවලා ඒකට රෙදි වලින් තිරයක් දාල පත්තු කරගෙන යන දවසුත් තිබුනා. එතනට අපේ ගෙදර ඉඳල දුර කිලෝමීටර පහක් වගේ තියෙනවා. ලොකු පොඩි හැමෝම සුදු පාට හරි ඒ වගේ ළා පාටක ඇඳුමක් ඇඳලා තමයි දේවාලේ යන්නෙ. පුංචි සන්ධියේ අපි පුදුම ආසාවකින් ගියපු ගමනක් තමයි මේ.
එදාට තමයි අපිට මොකක්හරි සෙල්ලම් බඩුවක් ගන්න ලැබෙන එකම අවස්ථාව. අවුරුද්දකට එක පාරක් ලැබෙන මේ වගේ අවස්ථාවකට ආස නොවී තියේවිද ඕනෙම පොඩි එකෙක්.

ඔතනින් මට ලැබිල තිබුන සෙල්ලම් බඩු අතරේ අතපය මුකුත් හොල්ලන්න බැරි විදිහට ඇඟටම ඇලිච්ච තද නිල් පාට බෝනික්කා, හුවෑ නළා, බිම උළල උලලා අත ඇරියම ගොඩක් දුර බිම දිගේ යන පුංචි අහස් යන්තරේ, පනින අස්සයා, පද්දනකොට තටු ගහන සමනල කරත්තේ. මේ වගේ සෙල්ලම් බඩු ගොඩාක් තිබුනා. අර කියපු බෝනික්ක මගේ ගාව තිබුනේ මම ඉස්කෝලේ යන්නත් ගොඩාක් කලින්, චුටි අක්කට බෝනික්කෙක් ඕනේ කිව්වහම මමත් එකක් ඉල්ලලා තිබුනා. ඉතින් ඔන්න ඔහොමයි මමත් පොඩි කාලේ බෝනික්කෝ නැලෙව්වේ. මමයි චුටි අක්කයි එකතු වෙලා ඒ බෝනික්කෝ දෙන්නට පරණ පොත් වලින් කඩා ගත්තු කොල කෑලි වලින් ඇඳුම් කපල අලවනවා. දැන් කාලේ පොඩි එකෙක්නම් ඒ වගේ සෙල්ලම් බඩුවක් දිහා හැරිලවත් බලන එකක්වත් නැහැ. ඒත් අපිට ඒවා කොච්චර වටිනා වස්තූන් වෙලා තිබුනද.
මගේ ගාව හිටපු කෙනාට් වැඩිය මෙයා ගොඩක් හැඩයි, ඒත් මට ඒ ජාතියේම රුපයක් හොයාගන්න බැරි උනා.
ඔය හුවෑ නළාව ගැනත් අපුරු කතන්දරයක්  කියන්න තියෙනවා. ඒක හදල තිබුනේ හීනි බටේක (අර වෙසක් කූඩු හදන්න ගන්න ජාතියම තමා) අගිස්සට බැලුමක් හයි කරලා. බැලුම හයි කරපු පැත්තේම නලාවක් විදිහට හදල තියෙනවා, ඒත් ඒක පිටට පේන්නෙ නැහැ. අනිත් කෙළවරට කට තියල පිඹල ඒ කෙලවර අපි කටින් අහක් කරනවා. ඊට පස්සෙ අර බැලුම ඇතුලේ තියෙන හුළං ටික බටේ හරහා එළියට යන්නෙ අර නලාවෙන් ලොකු සද්දෙකුත් පිට කරගෙන. ඒ සද්දේ හරියටම "හුවෑ" ගාන සද්දයක්. ඒ නිසා තමයි අපි ඕවට "හුවෑ නළා" කියල කිව්වේ. එදා ඉඳල දවස් කීපයක් යනකම්ම අපේ ගමේ හැමතැනම වගේ මේ හුවෑ නලාවල සද්දේ ඇහෙනවා.

අපේ අම්ම මඩුපොලේ යන්නෙ අම්මට ගන්න ඕනෙකරන හට්ටි, මුට්ටි, වලන්, ඇතිලි එහෙම ගන්න. අම්ම ගන්න මේ මැටි භාජන කරගහගෙන ගෙදර ගේන එක අපි ඔක්කොම අතින් තමයි සිද්ධ උනේ. ඒ වගේම හැමදාම අමතක නොකර අපේ ගෙදරට ගේන තව විශේෂ දෙයක් තමයි "ඈපා" ලිත. මේ විදිහට ගෙනාපු ලිත් ඔක්කොම පොඩි ලී පටියක අලවලා බිත්තියේ එල්ලනවා. 1971 ඉඳල එකම ලී පටියේ අලවපු ලිත් ඔක්කොම තාමත් අපේ ගෙදර තියෙනවා. අපි මේ ලිත ගන්නේ අවුරුදු නැකත් ටික බලාගන්න.

මඩු උත්සවය තියන්න මාසෙකට දෙකකට කලින් වගේ සංවිධායක මණ්ඩලය ගෙයින් ගෙට ගිහින් ආධාර එකතු කරනවා. ඊටත් පස්සෙ අපේ ගමේ රෙදි මාමා වෙච්ච අල්ලිස් මාමා ඇවිත් ගෙවල් වලින් දේවාලෙට එකතු කරපු හාල් අරගෙන යනවා. ඒ ගමන්ම දේවාලෙට බාර කරපු පොල් ගස් එහෙමත් තියෙනවනම් ඒවයෙත් පොල් අරගෙන යනවලු. ඒවා ගන්නේ කාගේ පරිභෝජනටද කියලනම් මට අදහසක් නැහැ. අපේ ගෙදරත් ඉස්සර ඉඳල තිබ්බ සිරිතක් තමයි හැමදාම බත් උයන්න කලින් හාල්වල තියෙන ගල්, වී අහුලල ඉවර උනාට පස්සෙ හාල් මිටක් දානවා මුට්ටියකට. එහෙම එකතුවෙන හාල් තමයි අර විදිහට අවුරුද්දකට වතාවක් එන අල්ලිස් මාමට දෙන්නේ. ඒ එක්කම සල්ලි කීයක්‌ හරිත් එයාට දෙනවා. එයා දේවාලේ කටයුතු වෙනුවෙන් සහ ගමට කරන සේවය නිසා තමයි හැම ගෙදරකින්ම මේ සැළකුම ලබන්නේ.


අල්ලිස් මාමා ගැන කියනවනම්, ඒ මනුස්සය "රදා කුලේ" කෙනෙක්, ඒ කියන්නෙ ඒ කාලේ කියන විදිහටනම් "අඩු කුලේ". ඒ මනුස්සයාගේ නම අල්විස්. මම පුංචි කාලේ අපේ ගම්වලත් කුලබේදය තරමක් දුරට තිබුනා. මට මතකයි අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ළමයි, එයාල ඔක්කොම අඩුකුලේ කියල පොඩි කොන්කිරීමක් ගමේ තිබ්බ වගක්.
(ඒ අය ගැන වෙනමම පෝස්ට් එකකින් කතා කරන්න මම හිතාගෙන ඉන්නවා)
අපි පුංචි කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගියපු මඩුපොලේ ගමන පස්සෙ පස්සෙ අපි තරුණ වයසට ආවට පස්සෙ ගියේ ඒ වගේ ශ්‍රද්ධාවකින්නම් නෙමෙයි. අම්මල එක්ක නැතුව කොල්ලෝ කට්ටියත් එක්ක එහෙම යන්නෙ රස්තියාදු ගහන්න මිසක් වෙනදේකට නෙමෙයි. අන්තිමට රස්සාව කරන්න ගත්තට පස්සෙ එහෙමහරි මඩුපොලේ ගිය ගමන නිකම්ම වගේ මගඇරිල ගියා. හදිස්සියෙම මතකෙට ආපු සුන්දර මතකයක් නිසා පෝස්ට් එක ලියන්න ගත්තට පස්සෙ ආපහු මඩුපොලේ යන්නත් මට ලොකු ආසාවක් ඇති උනා.
(2012 බැරිවෙන එකක් නැහැ)

17 comments:

  1. ලොකු පුතා...

    මගෙ උපන් ගමනම් සබරගමුවෙ... ආයෙ සමන් දේවාල කිව්වම හෙඩ් ඔෆිස් එක තියෙනෙ රත්නපුරේ නොවැ... ලංකාවෙ ඉන්න කාලෙ නොවැරදීම කරන දෙයක් තමා පෙරහැර බලන්න යන එක... හැබැයි වැඩියෙන්ම ඒක විනෝදයට යන ගමනක්...

    ReplyDelete
  2. මටත් මතක උනේ රත්නපුර සමන් දේවාලේ...ඒත් මේ කියන්නේ ඒ ගැන වෙන්න බෑ..හ්ම්ම්...

    මට මුලින්ම ලැබුනේ ඇඟේ කිසිම ඇඳුමක් නැති, නිල් ඇස් දෙකක් තියන බෝලයක් වගේ, තට්ට බෝනික්කෙක්...ඒක තාමත් අපේ ගෙදර තියනවා...

    ReplyDelete
  3. ඉස්සර පුංචිම කාලෙ අපේ සීය මාව එක්ක ගියා මේව බලන්න..ආයෙත් බලන්න නම් ආසයි...ඒත් ඉතින් අපි ලංකාවට එද්දි ඕව කොහෙද තියෙන්නෙ.....

    ReplyDelete
  4. හරි හමන් මඩු පොලක් දැන් දකින්න නෑ

    ReplyDelete
  5. මේක නම් ඉතින් රත්නපුරේ සමන් දේවාලේ නෙමේනෙ....මෙයා කොහෙද ඒ පැත්තෙ...හි හී

    මේ වගේ මඩු පොළවල් ගැන අහලා තිබුනත් හැබැහින් දැකලා නම් නෑ...අධිවේගියේ ඉන්න කාලේ සීනි ගම දේවාලේ ඔය වගේ මොකද්දෝ තියෙනවා කියලා බලන්න යමු කියලා යාළුවෝ කතා උනත් යන්න බැරි උනා....

    ReplyDelete
  6. ලංකාවෙ..ඔයවගේ සුන්දර උත්සව අපමනයි නොවැ ලොකූ...
    ඔං අපිනම් සමන්දෙවියන්ගේ අඩවිය කිට්ටුවම තමා ඉන්නේ..රංවල දෙවියන්නාන්සේ තමා ඉතින් මේ පැත්ත ආරක්ෂා කොරන්නේ...

    ReplyDelete
  7. වැදගත් ලිපියක්, මඩු පොලක් ගැන මේ ඇහුවමයි.

    ReplyDelete
  8. අහලා තිබුණට දැකලා නෑ.
    අපේ අත්තම්මගේ තාත්තා තොයිල් එහෙම කරලූ. එයාට කිව්වෙත් යද්දෙහි මුත්තා කියලා.අම්මෝ නියම වැඩ්ඩෙක්ලූ.හැබැයී කිසිම කෙනෙකුට සාත්තරේ උගන්නලා නෑ.

    ReplyDelete
  9. මීට ගොඩක් කාලෙකට කලින් මඩුපොලක් බලන්න ගියා.. එකම එක පාරයි..

    ReplyDelete
  10. රූකඩ මඩු යාග පොළේ
    කෝළ නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මං ගැන
    දැන් නැද්ද නිනවුවක්
    ආල පිරූ මං ගැන
    දැන් නැද්ද නිනවුවක්.............

    ReplyDelete
  11. @ මට මතක හැටියට .. සපතේරු උන්නැහේ
    මගේ හාමිනෙත් ඔය පළාතේ නොවැ, මමත් වතාවක් ඔය කියන පෙරහැර බැලුවා
    මෙතන මේ "හිනා වීගෙන ඉන්න යකාගේ" ෆොටෝ එක ගත්තෙත් ඔය පෙරහර බලන්න ගිය වෙලාවේ තමයි.
    හැබැයි මම මේ කියන මඩුපොල තිබුනේ සමන් දේවාලේ හෙඩ් ඔෆිසියේනම් නෙවෙයි
    මේක ඇවිත් බස්නාහිර පළාතේ පුංචි ගම්මානෙක තියෙන දේවාලයක්....

    @ සයුරි
    ඔව් සයුරි, මේක ඇවිත් අපේ පළාතේ ප්‍රසිද්ධ වෙච්ච දේවාලයක් මිසක්කා ලංකාව පුරා ප්‍රසිද්ධ වෙච්ච රත්නපුරේ සමන් දේවාලේ නෙමෙයි

    සයුරි මගේ ගාව හිටියෙත් ඒ වගේම එක්කෙනෙක් තමයි. ඔලුවේ කෙස් පොදක් නැති, අත පය ඇඟටම ඇලිච්ච, උපන් ඇඳුම පිටින්ම හිටපු බෝනික්කෙක්
    ඒකනේ අපි කොල කපකප ඇඳුම් අන්දෙව්වේ

    ReplyDelete
  12. @ වින්චැට් කිරිල්ලී.
    කිරිල්ලියේ අපි දෙයක් සොයනවානම් ඒක හොයාගන්න බැරිකමකුත් නැහැ
    ඔයාගේ ඊළඟ නිවාඩුවට දෙසැම්බර් මාසේ අන්තිම සති දෙක ඇතුලත ලංකාවට එන්න, ඔයාට ආසාවක් තියෙනවනම් අපේ ගමේ මඩුපොල බලන්න පුළුවන් වේවි

    @ Weni
    මම විසි වතාවක් විතර දැකපු එකම එක මඩුපොල මේක නිසා අනිත් මඩුපොලවල් කොහොමද කියලවත් අදහසක් නැහැ
    මටනම් මෙහෙම දෙයක් හිතෙනවා, මේ වගේ දේවල් ඔක්කොම රඳා පවතින්නේ මිනිස්සුන්ගේ විශ්වාසයන් මත
    අපි ඉස්සර පොඩි කාලේ අපේ ගෙවල් වල පවා ඒ වෙනුවෙන් පේ වෙලා ගිය විදිහට දැන් යන්නෙ නැහැනේ
    අපි විසින්ම මේවා නොසලකා හැරලා තියෙන එකම මේවයේ ගුණාත්මක භාවය අඩු වෙන්න හේතුවක් වෙන්න ඇති

    @ දිල්
    මගේ හාමිනේගේ ගම එහේනේ, දැන් ඉතින් රත්නපුරේ කියන්නෙ මගෙත් ගම තමයි.
    මේ වගේ දේවල් දැන්ම බලාකියාගෙන ඉන්න එක වටිනවා දිල්
    මේවා දකින්න පුළුවන් වෙන අන්තිම පරම්පරාව අපි වෙන්නත් පුළුවන්
    මට හිතෙන්නේ නැහැ අපේ පරම්පරාව මේවා ඉස්සරහට ගෙනියයි කියලා
    ඉතින් අපේ පරම්පරා වලට පස්සෙ අයට මේවා දකින්න ලැබෙන එක සැකසහිතයි
    ඒ නිසා මමනම් කොහොම හරි මේ වගේ දේවල් මගේ කැමරා කාචය හරහා හරි සංරක්ෂණය කරගන්න උත්සාහ කරනවා

    ReplyDelete
  13. @ Raj
    ඔව් මචං, ඒත් අපි දැකල තියෙන්නේ කීයෙන් කීයද
    ඒ කියන්නෙ උඹ රන්වල දෙවියන්වහන්සේගේ අඩවියේ දරුවෙක්
    රන්වල දෙයියෝ ගැන පෝස්ට් එකක් දාපන්කෝ වෙලාවක
    ඒක හරි අපුරු කතාවක්...

    @ වර්ණා
    ඔව් නගෝ, මේ වගේ දේවල් තියෙන්නේ ගමේගොඩේ නිසා හැමදෙනාටම බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ තමයි
    පුලුවන්නම් වෙලාවක ගිහින් බලන්න
    අපේ පුංචි රටේ කොයි තරම්නම් දේවල් තියෙනවද බලන්න

    @ බට්ටි
    බට්ටි ගමේගොඩේ හැදිච්ච කෙල්ලෙක්නේ, මෙව්වා දැනගෙන දැකබලාගෙන ඉන්න එපායැ.
    බට්ටිගේ මුත්තා වගේ කී දෙනෙක්නම් අපේ රටේ තිබ්බ වටිනා තාක්ෂණ ශිල්ප, දැනුම අරගෙන වලපල්ලට ගියාද
    ඒකනම් පුදුම විදිහේ අපරාධයක්
    ඒ වගේ දේවල් නැති වෙන්න නොදී රැකබලා ගත්තොත් මිසක් ආපහු කවදාවත් ඇති වෙන්නේ නැහැ

    ReplyDelete
  14. @ Dinesh
    ළඟදීම අභාවයට යන්න උනත් ඉඩකඩ තියෙන අපේ පැරණි සංස්කෘතික අංග දැන්ම බලාකියාගෙන ඉන්න එක හොඳයි

    @ harshana1985
    ඔබව සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා
    ඔව් ඔව්... එහෙම කතාවලුත් තිබුනා නේන්නම් :)

    ReplyDelete
  15. වයස 16 -17 විතර කාලෙ කොළඹ -නුවර පාරේ යක්කලට නුදුරු තැනක තියෙන අලුත්ගම දේවාලේ මෙවැනි උත්සවයක් බලන්න ගියා මතකයි. අපේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් 'දොරකඩ අස්න' කියවනව කියල එකක් මේ උත්සවේදී කළා. ඒ වැඩේට ගන්නෙ හුරු බුහුටි පෙනුමක් තියෙන දොරකඩ අස්න කට පාඩමෙන් කියන්න තරං දක්ෂ තාවයක් තියෙන ළමයෙක්ලු. මේ දොරකඩ අස්න කිවූ පොඩි එකා පසු කාලෙක ඉගෙනීම එහෙම කඩාකප්පල් කරගෙන,අන්තිම පහත තත්වෙ කාටත් එපා වුනු රස්තියාදුකාරයෙක් වුනා. ඒ කාලෙ කතාව ගියේ දොරකඩ අස්න කිව්ව සමහරුන්ට වස් වදිනව කියල. (පුද්ගලිකව මං නං එහෙම හිතන්නෙ නෑ)

    අපි පදිංචි වෙලා හිටිය ගම්පහ ,ඉඳිගොල්ල, ප්‍රදේශයේ තිබුන ශාන්ත ජූඩ් පල්ලියෙ මංගල්ලෙත්, ඔය දේවාලෙ උත්සවයට සෑහෙන්න සමානයි. පාර දෙපැත්තේ පොඩි කඩ, සුරුවම අරගෙන වීදි සංචාරය කරන පෙරහැර, එහෙම ඒ වගේ සමාන දේවල් හැටියට මතක් වෙන දෙකක්. ඒ ඇරුනම ආගම් භේදයක් නැතුව හැමෝම පල්ලියෙ මංගල්ලෙට සහභාගී වෙන එක, අපි පුජාවට සහභාගී නොවුනට, අනිත් ඔක්කොටම සහභාගී වෙනව.
    හුඟාක් දේවල් මතක් වුනා, ලියන්න ගියොත් කොමෙන්ට් එක පෝස්ට් එකට වඩා දිග වෙන්න බැරි නෑ....හෙහ්..හෙහ්...

    ReplyDelete
  16. අර දෙවෙනි පින්තූරෙ හිනාවෙන වෙස්මූණෙ කට ඇතුලෙන් පේන හිනාවත් එක්ක ඒකෙ හිනා දෙකයි.... :)
    ඔය හුවෑ නළාවල පිහාට්ටකුත් ගහල තිබුනද බැලුමට අමතරව... මට එහෙම එකක් නම් මතකයි.... ඒවත් පිඹිනකොට හුවෑ කියල තමයි කියන්නෙ...
    අනේ මං කවදාවත් මඩු නටන එකක් ඇත්තටම දැකල නැහැනෙ... තොවිල් පලවල්වලට නම් පුංචි කාලෙ එක්කන් ගිහින් තියෙනව... ඒත් අර කන් පැලෙන බෙර සද්දෙ අස්සෙත් මට හොඳට නින්ද යනවෙනෙ හොඳ හරිය එන්න ඉස්සෙල්ලා..
    අර ඈපා ලිත් සීන් එක නම් අපේ ගෙදරත් තිබුණ හුඟක් කල් යනකම්ම...ඒ කිව්ව විදියේ ලී රාමුවක ගහලා.... දැන් නම් හැම අවුරුද්දෙම අළුත් වෙනවා... ලී රාමුව නෑ...

    @ Observer,

    අපේ තාත්තත් පුංචි කාලෙ ඔය 'දොරකඩ අස්න' කියලා තියෙනවා.... ඒත් තාත්ත නම් කවදාවත් ඉස්සරහට තියපු පය ආපස්සට අරගෙන නෑ.... ඒ නිසා අර කතාව ඇත්ත වෙන්න බෑ... :)

    ReplyDelete
  17. @ Observer
    මොන හේතුව නිසා සිද්ධ උනත් අර ළමයට වෙච්ච දේනම් අපරාදේ

    කමක් නැහැ අයියේ කියන්න තියෙන දේවල් ලියන තරමටනෙ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. මේ හැමදෙයක්ම අපුරු සිහිවටන තමයි ජීවිතේට

    @ Miyuru
    ඔව් අක්කේ... ඒකාහේ හිනාව තමයි හිනාව... :))
    මමත් ඒ ෆොටෝ එක ගත්තේ හරිම අමාරුවෙන්, කැමරාව ඇතුලෙන් අර යකාගේ හිනා දෙක පෙනෙද්දී ෆොටෝ එකක් ගහගත්තු එකම මදෑ

    ඔව් ඔව්... පස්සේ පස්සේ ආපු නලා වල ඒ වගේ පිහාටුවකුත් ගහල තිබුන තමයි
    මතක් කලාට ස්තුතියි අක්කේ
    බෙර සද්දෙට නින්ද යන එකනම් කමක් නැහැ, නටන්න පටන් ගන්නේ නැතුව :)

    ReplyDelete